2-1. ආස්වාදදෘෂ්ටිය
කවර පන්තිස් අයුරින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි යත්:
‘රූපස්කන්‍ධය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයාගේ ආස්වාද යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය ආස්වාද නො වෙයි. ආස්වාදය දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, ආස්වාදය අනෙකෙක; යම් දෘෂ්ටියෙකුත් යම් ආස්වාදයෙකුත් වේ ද, මේ ‘ආස්වාදදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙක, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තියෙක, ඒ දෘෂ්ටිවිපත්තියෙන් සමන්‍වාගත පුද්ගල තෙමෙ දෘෂ්ටිවිපන්න නම දෘෂ්ටිවිපන්න පුද්ගල තෙම සේවනය නො කටයුත්තේ යැ, භජනය නො කටයුත්තේ යැ, පර්‍ය්‍යුපාසනය නො කටයුත්තේ යි. එ කවර හෙයින යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක වූ ද එහෙයිනි. දෘෂ්ටියෙහි (උපදනා) යම් රාගයෙක් වේ ද හේ දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය රාග නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, රාගය අනෙකෙකි. යම් දෘෂ්ටියෙකුත් යම් රාගයෙකුත් වේ ද මේ ‘දිට්ඨිරාග ය’යි කියනු ලැබේ. ඒ දෘෂ්ටියෙනුදු ඒ රාගයෙනුදු සමන්‍වාගත පුද්ගල තෙම දෘෂ්ටිරාගරක්ත නම. දෘෂ්ටිරාගරක්ත පුද්ගලයා කෙරෙහි දෙන ලද දානය මහත්ඵල නො වෙයි, මහානෘශංස නො වේ. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි.
මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි. නිරය හෝ තිරිසන් යෝනිය හෝ යි. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරනලද ගන්නාලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරනලද ගන්නා ලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද, යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ට බව පිණිස අකාන්ත බව පිණිස අමනාප බව පිණිස අහිත පිණිස දුක් පිණිස පවතිත්. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක වූ ද එහෙයිනි. යම්සේ කොසොඹ බිජුවටෙක් හෝ තිත්ත වැටකොළු බිජුවටෙක් හෝ තෙත් වූ පොළොව්හි රෝපණය කරන ලද්දේ යම් පෘථිවිරසයෙකුත් ගනු ලැබේද යම් අබ්රසයෙකුත් ගනු ලැබේ ද එ හැම තිත්ත බවට කටුක බවට නො මිහිරි බවට වැටෙයි. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඒ කොසොඹ ආදියෙහි බිජුවට ලාමක ද එහෙයිනි. එපරිද්දෙන් මැ මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරනලද ගන්නාලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද එ හැම ධර්‍මයෝ අනිෂ්ට බවට අකාන්ත බවට අමනාප බවට අහිතයට දුකට වැටෙත්. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි.
ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිගතයෙක, දෘෂ්ටිගහනයෙක, දෘෂ්ටිකාන්තාරයෙක, දෘෂ්ටි නැමැති හුලෙක, දෘෂ්ටියගේ විරූප චලනයෙක, දෘෂ්ටිසංයෝජනයෙක්, දෘෂ්ටිශල්‍යයෙක, දෘෂ්ටිසම්බාධයෙක, දෘෂ්ටිපරිබෝධයෙක, දෘෂ්ටිබන්‍ධනයෙක, දෘෂ්ටිප්‍රපාතයෙක, දෘෂ්ට්‍යනුශයෙක, දෘෂ්ටිසන්තාපයෙක, දෘෂ්ටිපරිදාහයෙක, දෘෂ්ටිග්‍රන්‍ථයෙක, දෘෂ්ට්‍යුපාදානයෙක, දෘෂ්ට්‍යභිනිවේශයෙක, දෘෂ්ටිපරාමර්‍ශයෙකි. මේ අටළොස් අයුරින් සමුදාචාරයට පැමිණි සිත් ඇත්තහුගේ (සසර) සංයෝගය වේ.
දෘෂ්ටි ද වූ සංයෝජනයෝ ද ඇත. දෘෂ්ටි නො වූ සංයෝජනයෝ ද ඇති.
දෘෂ්ටි ද වූ සංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි යැ ශීලව්‍රතපරාමර්‍ශ යි. මොහු දෘෂ්ටි ද වූ සංයෝජනයෝ යි.
දෘෂ්ටි නො වූ සංයෝජනයෝ කවරහ යත්: කාමරාග සංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ මානසංයෝජන යැ විචිකිත්සා සංයෝජන යැ භවරාගසංයොජන යැ ඊර්‍ෂ්‍යා සංයෝජන යැ මාත්සර්‍ය්‍ය සංයෝජන යැ අනුනයසංයෝජන යැ අවිද්‍යාසංයෝජන යි. මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
වේදනාව නිසා ... සංඥාව නිසා ... සංස්කාරයන් නිසා ... විඥානය නිසා ... චක්‍ෂුස නිසා ... ශ්‍රෝත්‍රය නිසා ... ඝ්‍රාණය නිසා ... ජිහ්වාව නිසා ... කාය නිසා ... මනස නිසා ... රූපයන් නිසා ... ශබ්දයන් නිසා ... ගන්‍ධයන් නිසා ... රසයන් නිසා ... ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා ... ධර්‍මයන් නිසා ... චක්‍ෂුර්විඥානය නිසා ... ශ්‍රෝත්‍රවිඥානය නිසා ... ඝ්‍රාණ විඥානය නිසා ... ජිහ්වාවිඥානය නිසා ... කාය විඥානය නිසා ... මනෝවිඥානය නිසා ... චක්ඛුසම්ඵස්සය නිසා ... සෝතසම්ඵස්සය නිසා ... ඝානසම්ඵස්සය නිසා ... ජිව්හාසම්ඵස්සය නිසා ... කායසම්ඵස්සය නිසා ... මනෝසම්ඵස්සය නිසා ... චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාවගේ ආස්වාද යි. අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය ආස්වාද නො වෙයි. ආස්වාදය දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටි අනෙකෙක, ආස්වාදය අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් වේ ද යම් ආස්වාදයෙකුත් වේ ද මේ ‘ආස්වාද දෘෂ්ටි යැ’යි කියනු ලැබේ.
ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ, ඒ දෘෂ්ටිවිපත්තියෙන් සමන්‍වාගත පුද්ගල තෙමේ ‘දෘෂ්ටිවිපන්න’ නම. දෘෂ්ටිවිපන්න පුද්ගල තෙම සේවනය නො කටයුත්තේ යැ, භජනය නො කටයුත්තේ යැ, පර්‍ය්‍යුපාසනය නො කටයුත්තේ යි. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි. දෘෂ්ටියෙහි (උපදනා) යම් රාගයෙක් වේ ද හේ දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය රාග නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක. රාගය අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් රාගයෙකුත් වේ ද මේ ‘දෘෂ්ටිරාග’ යයි කියනු ලැබේ. ඒ දෘෂ්ටියෙනුදු ඒ රාගයෙනුදු සමන්‍වාගත පුද්ගල තෙම ‘දෘෂ්ටිරාගරක්ත’ නම් වෙයි. දෘෂ්ටිරාගරක්ත පුද්ගලයා කෙරෙහි දුන් දන් මහත්ඵල නො වෙයි. මහ අනුසස් ඇත්තේ නො වෙයි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි.