2-2. ආත්මානුදෘෂ්ටිය
කවර විසි අයුරින් ආත්මානුදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි යත්:
මෙ ලොව්හි (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් වූ පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන්) දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන් ) දකී. ආත්මය විඥානවත් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දකී.
කිසෙයින් රූපය ආත්ම වශයෙන් දකී ද යත්: මෙ ලොව්හි ඇතැමෙක් පඨවීකසිණය ආත්මවශයෙන් දකී. ‘යම් පඨවීකසිණයෙක් වේ ද හේ මම යැ, යමෙක් මම් වේ ද හේ පඨවීකසිණ යැ යි පඨවීකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල්පහනක්හුගේ යම් සිළුවක් වේ ද හේ වර්‍ණ යැ, යමෙක් වර්‍ණය වේ ද හේ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී. එපරිද්දෙන් මැ මෙලොව්හි ඇතැමෙක් පඨවිකසිණය ආත්මවශයෙන් දකී. ‘යම් පඨවිකසිණයෙක් වේ ද, හේ මම යැ, යමෙක් මම් වේ ද හේ පඨවිකසිණ යැ යි පඨවිකසිණයත් තමාත් එකක් මැ කොටැ දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යමක් දෘෂ්ටි වේ ද යමෙකුත් වස්තු වේ ද මේ පළමු වැනි රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටියැ දෘෂ්ටිවිපත්ති යැ ... ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
මෙ ලොව්හි ඇතැමෙක් ආපෝකසිණය ... තේජෝකසිණය ... වායෝකසිණය ... නීලකසිණය ... පීතකසිණය ... ලොහිතකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. ‘යම් ඕදාතකසිණයෙක් වේ ද, හේ මම යැ, යමෙක් මම් වේ ද, හේ ඔදාතකසිණ යැ’යි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල්පහනක්හුගේ යම් සිළුවක් වේ ද, හේ වර්‍ණ යැ, යමෙක් වර්‍ණය වේ ද, හේ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී. එපරිද්දෙන් මැ මෙලොව්හි ඇතැමෙක් ... ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක. වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් වේ ද යම් වස්තුවකුත් වේ ද, මේ පළමු වැනි රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී.
කිසෙයින් ආත්මය රූපවත් කොට දකී ද යත්: මෙ ලොව්හි ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන්) දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලී මාගේ ආත්ම යැ, මාගේ මේ ආත්ම මේ (ශරීරය කසිණ) රූපයෙන් රූපවත් යැ’යි ආත්මය රූපවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්නවෘක්‍ෂයෙක් වන්නේ ද, ඒ වෘක්‍ෂය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ. ‘මේ වෘක්‍ෂය යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක ඡායාව අනෙකක, වැළිත් ඒ මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් යැ’යි (මෙසේ) වෘක්‍ෂය ඡායාවක් කොට දකී ද, එපරිද්දෙන් මැ මෙ ලොව්හි ඇතැමෙක් වේදනාව-සංඥාව-සංස්කාරයන්-විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මෙ වූකලී මාගේ ආත්ම යැ, මාගේ මේ ආත්මය මේ රූපයෙන් රූපවත් යැ’යි ආත්මය රූපවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටි යැ වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ දෙවනු වූ රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය රූපවත් කොට දකී.