3.
අනර්‍ත්‍ථ එළවන (විෂමකායකර්මාදි) විෂමයෙහි බැසගත් පාප මිත්‍රයන් දුරලන්නේ යැ, දෘෂ්ටි විසින් ලැගුණු ප්‍රමත්ත වූවහු (පස්කම් ගුණයෙහි වුහුටු සිත් ඇත්තහු) තෙමේ නො සෙවුනේ යැ, කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
පාපං සහායං පරිවජ්ජයෙථ - යම් මිතුරෙක් දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් සමන්‍වාගත වූයේ ද දුන් දැයෙහි විපාක නැත. යැදි දැයෙහි විපාක නැත, මහායාගයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, යම් කෙනෙක් මෙලොව ද පරලොව ද තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු සම්‍යග්ගත වූ සම්‍යක් ප්‍රතිපන්න වූ මහණබමුණෝ ලොව නැතැ”යි මිථ්‍යාදෘෂ්ටි සමන්‍වාගත වේ ද, හේ ‘පාපසහාය’ යි කියනු ලැබෙයි. මේ ‘පාපසහාය’ නම් වේ. පාපං සහායං පරිවජ්ජයෙථ යනු: පාප මිත්‍රයා හැරපියන්නේ යැ හාත්පසින් හැර පියන්නේ නුයි “පාපං සහායං පරිවජ්ජයෙථ’ යනු වේ.
අනත්‍ථදස්සිං විසමෙ නිවිට්ඨං- යම් මිතුරෙක් දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද: දුන් දැයෙහි විපාක නැත, යාගයෙහි විපාක නැත. යම් කෙනෙක් මෙලොව ද පරලොවද තුමූ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු සම්‍යග්ගත වූ එබඳු මහණ බමුණෝ ලොව නැතැ”යි මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූයේ ද හේ ‘අනර්ථදර්ශී’යි කියනු ලැබෙයි. විසමෙ නිවිට්ඨං යනු: විෂම වූ කායකර්‍මයෙහි පිවිසුණු විෂම වූ වාක්කර්‍මයෙහි පිවිසුණු විෂම වූ මනෝකර්මයෙහි පිවිසුණු විෂම වූ ප්‍රාණ වධයෙහි පිවිසුණු විෂම වූ අදත්තාදානයෙහි පිවිසුණු විෂම වූ කාමමිථ්‍යාචාරයෙහි පිවිසුණු විෂම වූ මෘෂා වාදයෙහි පිවිසුණු විෂමවූ පිශුනවචනයෙහි පිවිසුණු විෂම වූ පරුෂවචනයෙහි පිවිසුණු විෂම වූ සම්ඵප්‍රලාපයෙහි පිවිසුණු විෂම වූ අභිධ්‍යායෙහි පිවිසුණු විෂම වූ ව්‍යාපාදයෙහි පිවිසුණු විෂම වූ මිථ්‍යාදෘෂ්ටියෙහි පිවිසුණු විෂම වූ සංස්කාරයන්හි පිවිසුණු විෂම වූ පඤ්චකාමගුණයෙහි පිවිසුණු විෂම වූ පඤ්ච නීවරණයෙහි පිවිසුණු වැදගත් ශක්ත වූ ඇලුණු එළඹුණු බැසගත් අධිමුක්ත වූ නුයි ‘අනත්‍ථදස්සිං විසමෙ නිවිට්ඨං’ යනු වේ.
සයං න සෙවෙ පසුතං පමත්තං - ‘පසුතං’ යනු: යමෙකුත් කාමයන් එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙරේ ද එහි සරනුයේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ එයට නැමුණේ අතිශයින් නැමුණේ එයට බර වූයේ එහි අධිමුක්ත වූයේ එය අධිපති කොට ඇතියේ වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් පර්‍ය්‍යෙෂණ කෙරේ ද ශබ්දයන්- ගන්‍ධයන්- රසයන්- ස්ප්‍රෂ්ටව්‍යයන් පර්‍ය්‍යෙෂණ කෙරේද, එහි සරනුයේ එය බහුල කොට ඇත්තේ එය ගුරුකොට ඇත්තේ එයට නැමුණේ අතිශයින් නැමුණේ එයට බැහිල් වූයේ එහි අධිමුක්ත වූයේ එය අධිපති කොට ඇත්තේ වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් ලබා ද ශබ්දයන්ගන්ධයන්-රසයන්-ස්ප්‍රෂ්ටව්‍යයන් ලබා ද, එහි සරනුයේ එය බහුල කොට ඇත්තේ එය ගුරු කොට ඇත්තේ තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්හාර තද්ධිමුක්ත වූයේ එය අධිපති කොට ඇතියේ වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් කාමයන් පරිභෝග කෙරේ ද, ශබ්දයන්- ගන්‍ධයන්- රසයන්- ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරේ ද තත්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත තදධිපති වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යම්සේ කලහ කරනුයේ ‘කලහපසුත’ නම් වේ ද, කර්මකරනුයේ ‘කම්මපසුත’ නම් වේ ද, ගෝචරයෙහි සරනුයේ ‘ගොචරපසුත’ නම් වේද, ධ්‍යාන කරනුයේ ‘ඣ්‍යාන පසුත’ නම් වේ ද එපරිද්දෙන් මැ යමෙක් කාමයන් එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙරේ නම් තච්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත තදධිපති වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ නම් වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් පර්‍ය්‍යෙෂණ කෙරේ ද ... යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් ලබා ද .... යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් පරිභෝග කෙරේ ද, ශබ්දයන් - ගන්‍ධයන් - රසයන් - ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරේ ද, තච්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත තදධිපති වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ නම් වෙයි. පමත්තං යනු: ‘පමාද’ ය කියයුතු වෙයි: කාය දුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පස්කම්ගුණයෙහි හෝ සිත බැස ගැනීමෙක් පුනපුනා බැසගැනීමෙක් කුසල්දහම් වැඩීමෙහි නො සකසා කරන බවෙක් සතතයෙන් නො කරන බවෙක් නිරතුරු නො කරන බවෙක් ලීනවෘත්ති ඇති බවෙක්. බහාතැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇති බවෙක් බහාතැබූ වීර්‍ය්‍යධූර ඇති බවෙක් ආසේවන නො කිරීමෙක් නො වැඩීමෙක්. පුනපුනා නො වැඩීමෙක් නො පිහිටීමෙක්. නො යෙදීමෙක් ප්‍රමාදයෙක් වේ ද මෙබඳු යම් ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමාද වූ බවෙක් වේ ද මේ ප්‍රමාද යයි කියනු ලැබේ. සයං න සෙවෙ පසුත පමත්තං යනු: ලැගුණහු (පසුතයා) නො සෙවුනේ යැ ප්‍රමාද වූවහු ද තෙමේ සේවනය නො කරන්නේ යැ නිසේවන නො කරන්නේ යැ සංසේවන නො කරන්නේ යැ පුනපුනා සේවනය නො කරන්නේ යැ ඇසිරි නො කරන්නේ යැ මැනැවින් ඇසිරි නො කරන්නේ යැ සමාදන් කොට ගෙන නො පවත්නේ නුයි ‘සයං න සෙවෙ පසුතං පමත්තරං එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“පාපං සහායං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.