තුන් වැනි වර්‍ගය
1.
දෘෂ්ටිවිසූකයන් (සත්කායදෘෂ්ටිය හෝ දෙ සැට මිථ්‍යාදෘෂ්ටිය ප්‍රථමමාර්ගයෙන්) ඉක්මවූයෙම් සම්මත්තිනියාමයට පැමිණියෙම් ලබන ලද ශේෂමාර්ග ඇතියෙම් උපන් ප්‍රත්‍යෙකබෝධිඥාන ඇතියෙම් වෙමි. එහෙයින් අනෙකක්හු විසින් සත්‍යාවබෝධයට නො පැමිණවිය යුතු වූයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
දිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො- ‘දෘෂ්ටිවිසූකයෝ’ යි විංශද්වස්තුක සත්කාය දෘෂ්ටි කියනු ලැබෙති. “මෙලොවැ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්ම විසින් සංඥාවිපර්‍ය්‍යාසයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දකී. වේදනාව- සංඥාව- සංස්කාරයන් විඥානය ආත්ම විසින් සංඥාවිපර්‍ය්‍යාසයෙන් දකී. ආත්මය විඥානය ඇතියක් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දකී. යම් මෙබඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකයෙක් දෘෂ්ටිවිස්ඵන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩි වැ ගැන්මෙක් පිහිටාගැන්මෙක් වැදගැම්මෙක් පරාමර්‍ශයෙක් කුමඟෙක් අයථාමාර්ගයෙක් මිථ්‍යාස්වභාවයෙක් (අනර්‍ත්‍ථයට නිවාසවූ තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රහණයෙක් විපරීත ග්‍රහණයෙක් විපල්ලාසගාහයෙක් මිථ්‍යාග්‍රහණයෙක් අයථාස්වභාවයෙහි යථාස්වභාව යැයි ගැන්මෙක් යම් පමණ දෙසැට දෘෂ්ටිගතයෙක් වේ ද මොහු දෘෂ්ටි විසූකයෝ යි.” දිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො යනු: දෘෂ්ටිවිසූකයන් බැහැර කෙළෙම් ඉක්ම වූයෙම් මොනොවට ඉක්ම වූයෙම් වෙසෙසින් ඉක්මවූයෙම් නු යි ‘දිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො, යනු වේ.
පත්‌තො නියාමං පටිලද්‌ධමග්‌ගො - ‘නියාමයෝ’ යි සතරමාර්ගය ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය කියනු ලැබෙති. හෙමෙසේයි යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යක් වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යැ යි සතර ආර්‍ය්‍ය මාර්‍ගයෙන් සමන්‍වාගත වූයෙම් සම්මත්තනියාමයට පැමිණියෙම් මොනොවට පැමිණියෙම් අධිගම කෙළෙම් ස්පර්‍ශ කෙළෙම් ප්‍රත්‍යක්‍ෂ කෙළෙම් නුයි ‘පත්තෙ නියාමං’ යනු වේ. පටිලද්ධමග්ගො යනු: ලබන ලද මාර්‍ග ඇතියෙම් ප්‍රතිලාභ කළ මාර්‍ග ඇතියෙම් අධිගම කළ මාර්‍ග ඇතියෙම් ස්පර්‍ශ කළ මාර්‍ග ඇතියෙම් ප්‍රත්‍යක්‍ෂ කළ මාර්‍ග ඇතියෙම් නුයි ‘පත්තෝ නියාමං පටිලද්ධමග්ගෝ’ යනු වේ.
උප්‌පන්‌නඤාණොම්‌හි අනඤ්‌ඤනෙය්‍යො, - ඒ පසේ බුදුනට ප්‍රත්‍යෙක බොධිඥානය උපත මොනොවට උපත නිපන වෙසෙසින් නිපන පහළ විය. “හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි ඥානය උපත මොනොවට උපත නිපන වෙසෙසින් නිපන පහළ විය. ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’ යි... “හැම ධර්‍ම යෝ අනාත්මහයි ... යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි ඥානය උපන, මොනොවට උපන නිපන වෙසෙසින් නිපන පහළ වී නුයි ‘උප්‌පන්‌නඤාණොම්‌හි’ යනු වේ. අනඤ්‌ඤනෙය්‍යො යනු: ඒ පසේබුදුහු මෙරමා විසින් සත්‍යාවබෝධයට නො පැමිණ විය යුත්තාහ. අනෙකහු විසින් නො හැදැහැවිය යුත්තාහ. පර ප්‍රත්‍යය රහිතයහ මෙරමා පිළිබැදි ඥානගති නැතියහ. මුළා නො වූවාහු සම්පත් ඥාන ඇතියාහු සිහි ඇතියාහු ඇති සැටියෙන් දකිති, දකිති. හැම සංස්කාර යෝ දුඃඛයහ’යි ... හැම ධර්‍මයෝ අනාත්මහ’ යි... යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි මෙරමා විසින් සත්‍යාවබෝධයට නො පැමිණවිය යුත්තාහ. අනෙකක්හු විසින් නො හැ දැහැවීය යුත්තාහ, පරපත්‍යය රහිතය, මෙරමා පිළිබැඳි ඥානගති නැතියහ. නො මුළා වැ සම්‍යග් ඥාන ඇති වැ සිහි ඇති වැ ඇති සැටියෙන් දනිති, දකිත් නුයි ‘උප්‌පන්‌නඤාණොම්‌හි අනඤ්‌ඤනෙය්‍යො, ඒකෝ චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.’ යනු වේ.
එයින් වදාළහ ඒ පසේ බුදුහු:
“දිට්‌ඨිවිසූකානි උපාතිවත්‌තොති -පෙ- ඒකෝ චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.” යි.
2.
(රසතෘෂ්ණායෙහි) ලොල් නො වූයෙම් කුහක නො වූයෙම් (මිහිරිරස බුදිනු කැමැති) පවස් නැතියෙන් මතු නො වූයෙම් බැහැර කළ රාගාදිකසට හා මෝහය හා ඇතියෙම් මුළුලොව්හි තෘෂ්ණා රහිත වැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
නිල්‌ලොලුපො නික්‌කුහො නිප්‌පිපාසො, - ‘ලොලුප්ප’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙන් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේද එයයි, ඒ ලොලුප්ප සඞ්ඛ්‍යාත තෘෂ්ණාව පසේබුදුනට ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ, හිස්සුන් තාලවස්තුවක් සෙයින් කරන ලද යැ. අනු අභාවය කරන ලදය, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේයැ, එයින් පසේබුදුහු ‘නිල්ලොලුප’ නම් වෙති. නික්‌කුහො යනු: කුහනවස්තූහු තිදෙනෙකි: ප්‍රත්‍යය ප්‍රතිෂේධ සංඛ්‍යාත කුහනවස්තූහු යැ ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවස්තු යැ සාමන්තජල්ප සඞ්ඛ්‍යාත කුහනවස්තු යැ යි.