ඛග්ගවිසාණ සූත්‍ර නිර්‍දෙශය
ප්‍රථම වර්‍ගය
1.
සියලු සතුන් කෙරෙහි කායවාක්මනොදණ්ඩය හැරපියා ඔවුනතුරෙහි කිසි එකකුදු නො වෙහෙසනුයේ කිසි පුතකු නො කැමැති වන්නේ යැ යහළුවකු ඉස්නේ යැ යනු කොයි නැ..? කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං - “සබ්බෙසු” යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල “සබ්බෙසු” යනු, භූතෙසු - තෘෂ්ණා සහිත සත්ත්‍වයෝ ද රහත්හු ද “භූතයෝ” යි කියනු ලැබෙත්. තසා යනු: යම් කෙනකුන්ගේ තසිනාව (පවස්) තෘෂ්ණාව ප්‍රහීණ නො වූද, යම් කෙනකුන්ගේ වැළිත් චිත්තොත්‍රාසයෝ ප්‍රහීණ නො වූවාහු ද ඔහු යැ. කවර කරුණින් “තසයෝ’යි කියනු ලැබෙත් ද යත්: ඔහු ත්‍රස්ත වෙති උත්ත්‍රස්ත වෙති පරිත්‍රස්ත වෙති භය වෙති සන්ත්‍රාසයට පැමිණෙති. එකරුණින් “තසයෝ”යි කියනු ලැබෙත්. ථාවරා යනු; යම් කෙනකුන්ගේ තසිනාව තණ්හාව ප්‍රහීණ වූ ද යම් කෙනකුන්ගේ වැළිත් චිත්තොත්‍රාසයෝ ප්‍රහීණ වූවාහුද ඔහු යැ. කවර කරුණින් ‘ථාවරයෝ’ යි කියනු ලැබෙත් ද යත්; ඔහු ත්‍රස්ත නො වෙති උත්ත්‍රස්ත නො වෙති පරිත්‍රස්ත නො වෙති බිය නො වෙති සන්ත්‍රාසයට නො පැමිණෙත්. එ කරුණින් ‘ථාවරයෝ’ යි කියනු ලැබෙත්. දණ්ඩං යනු; දණ්ඩයෝ තිදෙනෙකි: කායදණ්ඩ යැ වාග් දණ්ඩ යැ මනොදණ්ඩ යැ යි. ත්‍රිවිධ කායදුශ්චරිතය කාය දණ්ඩ නම, චතුර්විධ වාග්දුශ්චරිතය වාග්දණ්ඩ නම, ත්‍රිවිධ මනෝදුශ්චරිතය මනෝ දණ්ඩ නමි. සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං යනු: සියලු සත්ත්‍වයන් කෙරෙහි දඬුවම් හැර පියා තබා බහාතබා දමා පියා බැහැර කොට සන්හිඳුවා නුයි “සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩා” යනු වේ.
අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං යනු: එකෙකි සතකුදු අතින් හෝ කැටින් හෝ දඬින් හෝ සැතින් හෝ සිරබැඳුමින් හෝ රැහැනින් හෝ නො වෙහෙසනුයේ හැම සතුන් මැ අතින් හෝ කැටින් හෝ දඬින් හෝ සැතින් හෝ සිර බැඳුමින් හෝ රැහැනින් හෝ නො වෙහෙසනුයේ නුයි “අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං” යනු වේ.
න පුත්තමිච්ඡෙය්‍ය කුතො සහායං - “න” යනු: ප්‍රතික්‍ෂේප යැ. “පුත්තා” යනු: පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජපුත්‍ර යැ ක්ෂේත්‍රජ පුත්‍ර යැ දින්නකපුත්‍ර යැ අන්තේවාසික පුත්‍ර යැ යි. සහායං - යම් කෙනකුන් හා සමග ඊම පහසු ද යෑම පහසු ද යෑම ඊම පහසු ද සිටීම පහසු ද හිඳීම පහසු ද ශයනය පහසු ද ආලපනය පහසු ද සල්ලාපය පහසු ද උල්ලපනය (ඔසොවා කීම) පහසුද සමුල්ලපනය (හාත්පසින් ඔසොවා කීම) පහසු ද ඔහු යැ. න පුත්තමිච්ඡෙය්‍ය කුතො සහායං - යනු: පුතුදු නො කැමැති වන්නේ යැ ආස්වාද නො කරන්නේ යැ නො පතන්නේ යැ ඊප්සා නො කරන්නේ යැ තෘප්ති නූපදවන්නේ යැ. කවර හෙයින් මිත්‍රයකු හෝ සන්දෘෂ්ටයකු හෝ සම්භක්තයකු හෝ සහායයකු හෝ කැමැති වන්නේ ද ආස්වාද කරන්නේ ද ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ ද ඊප්සා කරන්නේ ද තෘප්ති උපදවන්නේ ද නුයි “න පුත්තමිච්ජෙය්‍ය කුතො සහායං” යනු වේ.
ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො - “ඒකෝ’ යනු: ඒ පසේ බුදුහු ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාතාර්ථයෙන් අතුල්‍යයහ, අද්විතීයාර්ත්ථයෙන්අතුල්‍යයහ, තෘෂ්ණා ප්‍රහාණාර්ත්ථයෙන් අතුල්‍යයහ, ඒකාන්ත වීතරාග නුයි අතුල්‍යයහ, ඒකාන්ත වීතදෝස නුයි අතුල්‍යයහ, ඒකාන්ත වීතමෝහ නුයි අතුල්‍යයහ, ඒකාන්තයෙන් නික්ලේශ නුයි අසහායහ, ඒකායනමාර්ගයට ගියාහු නුයි ඒකයහ, එකලා වැ ප්‍රත්‍යෙකසම්බොධිය අවබෝධ කළාහු නු යි ඒකයහ.
කිසෙයින් ඒ පසේ බුදුහු ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාත අර්‍ත්‍ථයෙන් “එක” වූහ යත්: ඒ පසේබුදුහු හැම ගෘහාවාස පරිරොධය සිඳපියා අඹුදරු ආවරණය සිඳපියා ඥාති පලිබොධය සිඳපියා සන්නිධිපරිරොධය සිඳපියා කෙස්රවුළු බහා කහවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වැ අකිඤ්චන (කිසිවක් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙති. වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති පවත්වත්. මෙසෙයින් ඒ පසේ බුදුහු ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාත අර්‍ත්‍ථයෙන් “එක” යහ.
කිසෙයින් ඒ පසේ බුදුහු අද්විතීයාර්ත්ථයෙන් “එක” වූහ. යත්: උන්වහන්සේ මෙසෙයින් පැවිදි වූවාහු එකලා වැ අල්ප ශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රාහස්‍යයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුරු සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් ඇසුරු කෙරෙති, උන් වහන්සේ එකලා වැ හැසිරෙති, එකලා වැ යෙති එකලා වැ සිටිති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬුසිඟා පිවිසෙති, එකලා වැ රහසැ හිඳිති, එකලා වැ සක්මන් කෙරෙති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති, රැකෙති, යැපෙති, පවත්වත්. මෙසෙයින් බුදුහු අද්විතීයාර්ත්ථයෙන් “එක” යහ.