2.
(රසතෘෂ්ණායෙහි) ලොල් නො වූයෙම් කුහක නො වූයෙම් (මිහිරිරස බුදිනු කැමැති) පවස් නැතියෙන් මතු නො වූයෙම් බැහැර කළ රාගාදිකසට හා මෝහය හා ඇතියෙම් මුළුලොව්හි තෘෂ්ණා රහිත වැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
නිල්‌ලොලුපො නික්‌කුහො නිප්‌පිපාසො, - ‘ලොලුප්ප’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙන් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේද එයයි, ඒ ලොලුප්ප සඞ්ඛ්‍යාත තෘෂ්ණාව පසේබුදුනට ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ, හිස්සුන් තාලවස්තුවක් සෙයින් කරන ලද යැ. අනු අභාවය කරන ලදය, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේයැ, එයින් පසේබුදුහු ‘නිල්ලොලුප’ නම් වෙති. නික්‌කුහො යනු: කුහනවස්තූහු තිදෙනෙකි: ප්‍රත්‍යය ප්‍රතිෂේධ සංඛ්‍යාත කුහනවස්තූහු යැ ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවස්තු යැ සාමන්තජල්ප සඞ්ඛ්‍යාත කුහනවස්තු යැ යි.
ප්‍රත්‍යය ප්‍රතිෂේධන සඞ්ඛ්‍යාත කුහනවස්තු නම් කවරැ යත්: මෙ ලෙව්හි ගැහැවියෝ සිවුරු- පිඬුවා- සෙනසුන්- ගිලන්පස බෙහෙසත් පිරිකරින් මහණක්හු නිමන්ත්‍රණය කෙරෙති. හෙතෙම (නැතිගුණ දක්වන) පාපේච්ඡා ඇත්තේ ඉච්ඡායෙන් මඬනා ලදුයේ අර්ත්‍ථී වූයේ සිවුරු- පිඬුවා සෙනසුන්- ගිලන්පස බෙහෙසත්පිරිකර බොහෝ කැමැති බව නිසා සිවුර පිළිකෙව් කෙරෙයි, පිඬුවා පිළිකෙව් කෙරෙයි සෙනසුන පිළිකෙව් කෙරෙයි, ගිලන්පස බෙහෙසත්පිරිකර පිළිකෙව් කෙරේ. හේ මෙසේ කියයි: මහණහට මහඇගි සිවුරින් කවර අර්‍ත්‍ථ යැ, මහණ සොහොනින් හෝ කසළ ගොඩින් හෝ අවුණුදොරින් හෝ කඩරෙදි අවුළා සඟළ කොට දරන්නේ යැ යන යමෙක් වේ ද, තෙල සාරූප්‍ය වෙයි. මහණහට මහඇගි පිඬුවායෙන් කවර අර්‍ත්‍ථ යැ, මහණ සිඟා ලද පිඬු අතරින් දිවි රකින්නේ යැ යන යමෙක් වේ ද, තෙල සාරූප්‍ය වෙයි. මහණහට මහඇගි සෙනසුනින් කවර අර්‍ත්‍ථ යැ, මහණ රුක්මුල් සෙනසුන් ඇත්තේ හෝ සොහොන්හි වසනේ හෝ අබොවස් සෙනසුන් ඇත්තේ හෝ වන්නේ යැ යන යමෙක් වේ ද තෙල සාරූප්‍ය වෙයි, මහණ හට මහඇගි ගිලන්පස බෙහෙසත්පිරිකරින් කවර අර්‍ත්‍ථ යැ, මහණ ගොමුත්‍රයෙන් හෝ අරළුකඩෙකින් හෝ බෙහෙසත් කිස කරන්නේ යැ යන යමෙක් වේ ද තෙල සාරූප්‍ය වේයයි. හේ එතැන් පටන් රළු සිවුරුදරයි. රළු පිඬුවා බුදියි. රළු සෙනසුන් සෙවුන්නේ යැ රළු ගිලන්පස බෙහෙසත් පිරිකර සෙවුන්නේ යැ, ගැහැවියෝ ඔහු මෙසෙසින් දනිති: “මෙ මහණ අපිස් ගුණ ඇත්තේ යැ සතොස්ගුණ ඇත්තේ යැ ප්‍රකර්‍ෂවිවේක ඇත්තේ යැ ගණසඞ්ගණිකා රහිතයැ රුකුළුවැර ඇත්තේ යැ ධූතයෙහි අනුසස් කියන්නේ යැ’යි මතුමත්තෙහි සිවුරු- පිඬුවා- සෙනසුන් -ගිලන්පස බෙහෙසත් පිරිකරින් පවරති. හේ මෙසේ කියයි: තිදෙනකුන්ගේ හමුවීමෙන් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කෙරෙයි. සැදැහැ ඇති බැවින් සැදැහැති කුල පුත් බොහෝ පින් රැස් කෙරෙයි. දේයධර්‍ම ඇති බැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කෙරෙයි. දක්‍ෂිණාර්‍හයන් ඇති බැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කෙරේ. තොපට මැ මේ සැදැහැ ඇත, දේයධර්‍මය ද ඇති, මම් ද ප්‍රතිග්‍රාහකයෙමි. ඉදින් මම් නො පිළිගන්නෙම් නම් මෙසෙයින් තෙපි පිනින් බැහැර වන්නවු ය. මට මෙයින් අර්‍ත්‍ථ නැති. තොපට මැ අනුග්‍රහ පිණිස පිළිගනිමි, එතැන් පටන් බොහෝ සිවුරු ද පිළිගනී. බොහෝ පිඬුවා ද පිළිගනී. බොහෝ සෙනසුන් ද පිළිගනී. බොහෝ ගිලන්පස බෙහෙසත් පිරිකර ද පිළිගනී. යම් මෙබඳු මුව හැකිළීමෙක් මුව හකුළන බවෙක් විස්මය ගැන්වීමෙන් විස්මය ගන්වන අයුරක් විස්මයකළ බවෙක් වේ ද, මේ ප්‍රත්‍යය ප්‍රතිෂේධනසඞ්ඛ්‍යාත කුහනවස්තූනම්.