9.
ඇත්මුළ හැරපියා අරනෙහි සිත්සේ වෙසෙන මොනොවට වැඩුණු කඳ ඇති පද්මකුල සම්භව වූ (වීර්ය්යයබල ජව ආදියෙන් මහත් වූ ඇත්රජක්හු සෙයින් හටගත් අශෛක්ෂ ශීලස්කන්ධාදිය ඇති යම් පද්ම සදෘශ බෝධ්යඞ්ග ඇතියෙම් (හෝ ආර්ය්යජාති ඇතියෙම්) උදාර වූ ශීලසමාධි ප්රඥා ඇතියෙම් ගණයා හැරපියා අරනෙහි සිත්සේ වාස කරනුයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
නාගොව යූථානි විවජ්ජයිත්වා, - නාග යි හස්තිනාග කියනු ලැබෙයි. පසේ බුදුහු ද නාග නම් වෙති. කවර කරුණෙකින් පසේ බුදුහුද ‘නාග’ නම් වෙතී යත්: පව් නො කෙරෙතී ‘නාග’ යැ, අගතියට නො යෙත් ‘නාගයැ, (පුහුන් කෙලෙසුන් කරා) නො එතී ‘නාග’ යැ කිසෙයින් ඒ පසේබුදු ‘පව් නො කෙරෙතී නාග නම් වෙතී යත්: අගුයි පීඩාකරවූ පුනර්භවය දෙන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක උපදවන මත්තෙහි ජාති ජරාමරණයට ප්රත්යය වූ ලාමක අකුශලධර්මයෝ කියනු ලැබෙත්.
1. “(බුදුහු සඟිය අමතා මෙසේ වදාළහ:) යමෙක් ලෝකයෙහි අල්පමාත්ර වූ ද පාපයක් නො කෙරේ නම් එබඳු වූයේ ‘නාග’ යයි කියනු ලැබෙයි. හෙතෙම කාමාදි සියලු යෝගයන් ද සංයොජනභෙද වූ බන්ධනයන් ද හැරපියා ස්කන්ධාදි සියලු තැන්හි කිසි සගයෙකිත් නො ඇලෙයි, විවිධ විමුක්තියෙන් මිදුණේ ලාභාලාභාදියෙහි තාදී වූයේ ද වේ.
මෙසෙයින් ඒ පසේ බුදුහු ‘පව් නො කෙරෙතී’ නාග නම් වෙති.
කිසෙයින් ඒ පසේ බුදුහු ‘නො යෙතී’ නාග නම් වෙති යත්: ඒ පසේ බුදුහු ඡන්දයෙන් අගතියට නො යෙති, ද්වේෂයෙන් අගතියට නො යෙති, මෝහයෙන් අගතියට නො යෙති, භයින් අගතියට නො යෙති, රාග වශයෙන් නො යෙති, ද්වේෂ වශයෙන් නො යෙති, මාන වශයෙන්- දෘෂ්ටි වශයෙන්- ඖද්ධත්ය වශයෙන්- විචිකිත්සා වශයෙන්- අනුශය වශයෙන් නො යෙති, වර්ග වූ ධර්මයන් විසින් නො යැවෙති, නො පමුණුවනු ලැබෙති, නො ගෙන යනු ලැබෙත්. මෙසෙයින් ඒ පසේ බුදුහු ‘නො යෙතී ‘නාග’ නම් වෙත්.
කිසෙයින් ඒ පසේ බුදුහු ‘නො එතී’ නාග නම් වෙතී යත්: සෝවාන් මගින් යම් කෙලෙස් කෙනෙක් ප්රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා වටලා නො එති, පෙරළා නො එති, ආපසු නො එති, සෙදගැමි මඟින්... අනගැමි මඟින් ... රහත්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා වටලා නො එති, පෙරළා නො එති, ආපසු නො එත් මෙසෙයින් ඒ පසේබුදුහු ‘නො එතී’ නාග නම් වෙති.
නාගොව යූථානි විවජ්ජයිත්වා, යනු: යම්සේ ඒ හස්තිනාග ඇත්මුළ හැරපියා දුරු කොට වර්ජනය කොට එකලා වැ අරනෙහි වල්වැද හැසිරේ ද ඉරියව් පවත්වා ද රැකේ ද යැපේද යාපනය කෙරේ ද, එසෙයින් පසේ බුදුහු ද ගණය හැරපියා දුරුකොට වර්ජනය කොට එකලා වැ අරනෙහි අල්පශබ්ද ඇති අල්පනිර්ඝෝෂ ඇති ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස් කමට නිසි වූ විවේකයට සරුප් වූ දුරු සෙනසුන් ප්රාන්ත සෙනසුන් සේවනය කෙරෙති. ඔබ එකලා වැ යෙති එකලා වැ සිටිති එකලා වැ හිඳිති එකලා වැ ශයනය කෙරෙති, එකලා වැ පිඬු පිණිස ගම්වදිති එකලා වැ පෙරළා එති එකලා වැ රහසැ හිඳිති එකලා වැ සක්මන් කරති එකලා වැ හැසිරෙති වෙසෙති ඉරියව් පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘නාගා’ ච පරිවජ්ජයිත්වා’ යනු වේ.
සඤ්ජාතඛන්ධො පදුමී උළාරො යනු: යම්සේ ඒ හස්තිනාග වැඩුණු කඳ ඇත්තේ සත්රියන් පමණ හෝ අටරියන් පමණ හෝ වෙයි. පසේ බුදුහු ද අයෙක් වූ ශීලස්කන්ධයෙන් අශෛක්ෂ වූ සමාධිස්කන්ධයෙන් අශෛක්ෂ වූ ප්රඥාස්කන්ධයෙන් අශෛක්ෂ වූ වූ විමුක්තිඥානදර්ශන ස්කන්ධයෙන් අශෛක්ෂ වූ විමුක්තිඥානදර්ශන ස්කන්ධයෙන් වැඩුණු කඳ ඇතියහ. යම්සේ ඒ හස්තිනාග තෙමේ පද්මකුල සම්භව වූයේ ද එසෙයින් පසේබුදුහු ද සප්තබෝධ්යඞ්ග පුෂ්පයෙන් පියුම් බන්දහ: ස්මෘති සම්බොධ්යඞ්ගපුෂ්පයෙන, ධර්මවිචය සම්බෝධ්යඞ්ග පුෂ්පයෙන, වීර්ය්යසම්බෝධ්යඞ්ග පුෂ්පයෙන, ප්රීතිසම්බෝධ්යඞ්ග පුෂ්පයෙන, ප්රශබ්ධිසම්බොධ්යඞ්ග පුෂ්පයෙන, සමාධිසම්බොධ්යඞ්ග පුෂ්පයෙන, උපෙක්ෂා සම්බෝධ්යඞ්ග පුෂ්පයෙනි. යම්සේ ඒ හස්තිනාග තෙම වීර්ය්යයෙන් බලයෙන් ජවයෙන් ශුරත්වයෙන් මහත් වේ ද, එසෙයින් පසේබුදුහුදු ශීලයෙන් සමාධියෙන් ප්රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥානදර්ශනයෙන් මහත් වෙත් නුයි ‘සඤ්ජාතඛන්ධො පදුමී උළාරො’ යනු වේ.
යථාභිරන්තං විහරං අරඤ්ඤෙ යනු: යම්සේ ඒ හස්තිනාග සිත්සේ වෙනෙහි වෙසේ ද, එසෙයින් බුදුහු ද සිත්සේ වෙනෙහි වෙසෙති. ප්රථම ධ්යානයෙනුදු සිත්සේ වෙනත් වෙසෙති. ද්විතීය ධ්යානයෙනුදු - තෘතීය ධ්යානයෙනුදු- චතුර්ථධ්යානයෙනුදු- සිත්සේ වෙනෙහි වෙසෙති. මෛත්රිචිත්ත විමුක්තියෙනුදු සිත්සේ වෙනෙහි වෙසෙති කරුණා චිත්තවිමුක්තියෙනුදු - මෘදුතාචිත්තවිමුක්තියෙනුදු උපෙක්ෂාචිත්තවිමුක්ති යෙනුදු සිත්සේ වෙනෙහි වෙසෙති. ආකාශානඤ්චායතනසමාපත්තියෙනුදු සිත්සේ වෙනෙහි වෙසෙති. විඤ්ඤාණඤචායතනසමාපත්තියෙනුදු ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙනුදු නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමා පත්තියෙනුදු -. නිරොධසමාපත්තියෙනුදු ඵලසමාපත්තියෙනුදු සිත්සේ වෙනෙහි වෙසෙත් නුයි ‘යථාභිරන්තං විහරං අරේඤ ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.