10.
යමෙක් යම් කරුණකින් සාමයික විමුක්තිය (ලෞකික සමාපත්තිය) අධිගම කෙරේ නම් ගණයෙහි ඇලුණහුට ඒ අස්ථාන යැ යන පසේබුදුන්ගේ වචනය අසා කගවෙහෙණ හඟෙක් සෙයින් එකලා වැ සරනෙම්.
අට්ඨානතං සඞ්ගණිකාරතස්ස, යං ඵස්සයෙ සාමයිකං විමුත්තිං යනු: මේ වදාරනලද මැ යි භාග්යවතුන් විසින්: “ආනන්දය, එකැතින් ඒ මහණ ස්වගණයා කෙරෙහි ඇලෙනුයේ ස්වගණයා කෙරෙහි ඇලුණේ ස්වගණයා කෙරෙහි ඇලුම් කරන බැව්හි යෙදුණේ ගණයෙහි ඇලුම් ඇත්තේ ගණයෙහි ඇලුණේ ගණයෙහි තුටු වූයේ ගණයෙහි ඇලුම් කරණ බැව්හි යෙදුණේ ‘යම් නෛෂ්ක්රම්යසුඛයෙක් ප්රවිවේකසුඛයෙක් පලසමවත් සුවයෙක් මාර්ගසුඛයෙක් වේ ද එ සුවය කැමැතියේ ලබනසුලු නිදුකින් ලබනසුලු විපුල වැ ලබනසුලු වන්නේ යැ’ යන තෙල කරුණ නො පැනෙයි. තවද ආනන්දය, යම් මහණෙක් එකලා වැ ගණයෙන් පහ වැ වාසය කෙරේද ඒ මහණහට මෙය කැමැති විය යුතුයැ: යම් නෛෂ්ක්රම්ය සුඛයෙක් ප්රවිවේක සුඛයෙක් ඵලසමාපත්ති සුඛයෙක් මාර්ගසුඛයෙක් වේ නම් ඒ සුඛය කැමැති සේ ලබනසුලු නිදුකින් ලබන සුලු විපුල වැ ලබන සුලු වන්නේ යැ යන තෙල කරුණ පැනෙයි. ආනන්දය; එකැතින් ඒ මහණ තෙම ස්වගණයෙහි ඇලුම් ඇත්තේ ස්වගණයෙහි ඇලුණේ ස්වගණයෙහි ඇලෙන බැව්හි යෙදුණේ ගණයෙහි ඇලුම් ඇත්තේ ගණයෙහි ඇලුණේ ගණයෙහි තුටු වූයේ ගණයෙහි ඇලෙන බැව්හි යෙදුණේ ලෞකික ශාන්තවිමුක්තියට හෝ ලෝකෝත්තර වූ අකෝප්යය (මාර්ගය) ට හෝ පැමිණ වාස කරන්නේ යැ යන තෙල කරුණ නො පැනෙයි. තවද ආනන්දය යම් මහණෙක් එකලා වැ ගණයෙන් පහ වැ වාස කෙරේ ද, එ මහණහට මෙය කැමැති වියයුතු යැ: ලෞකික ශාන්තවිමුක්තියට පැමිණ හෝ ලෝකෝත්තර මාර්ගයට පැමිණ හෝ වාසය කරන්නේ යැයි තෙල කරුණ පැනේ යයි ‘අට්ඨානතං සඞ්ගණිකාරතස්සෙ යං ඵස්සයෙ සාමයිකං විමුත්තිං’ යනු වේ.
ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම - ‘ආදිච්චෝ’ යි සූර්ය්යයා කියනු ලැබෙයි. හේ ගෝත්රයෙන් ගෞතම යැ පසේ බුදුහු දු ගෝත්රයෙන් ගෞතම යැ ඒ පසේ බුදුහු සූර්යයාහට ගොත්රඥාතීහ, ගෝත්ර බන්ධූහ, එයින් පසේ බුදුහු ආදිත්යබන්ධු වෙති. ආදිච්චබන්ධුස්ස වචො නිසම්මා යනු: සූර්යයබන්ධූහුගේ වචනය වාක්පථය දේශනාව අනුශාසනාව අසා අසාගෙන උගෙනැ විමසා සලකා නුයි ‘ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම, ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ ඒ පසේ බුදුහු:
“අට්ඨානතං සඞ්ගණිකාරතස්ස, - පෙ - ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
දෙ වැනි වග නිමි.
තුන් වැනි වර්ගය
1.
දෘෂ්ටිවිසූකයන් (සත්කායදෘෂ්ටිය හෝ දෙ සැට මිථ්යාදෘෂ්ටිය ප්රථමමාර්ගයෙන්) ඉක්මවූයෙම් සම්මත්තිනියාමයට පැමිණියෙම් ලබන ලද ශේෂමාර්ග ඇතියෙම් උපන් ප්රත්යෙකබෝධිඥාන ඇතියෙම් වෙමි. එහෙයින් අනෙකක්හු විසින් සත්යාවබෝධයට නො පැමිණවිය යුතු වූයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
දිට්ඨීවිසූකානි උපාතිවත්තො- ‘දෘෂ්ටිවිසූකයෝ’ යි විංශද්වස්තුක සත්කාය දෘෂ්ටි කියනු ලැබෙති. “මෙලොවැ (බුද්ධාදි) ආර්ය්යයන් නො දක්නාසුලු ආර්ය්යධර්මයෙහි අදක්ෂ වූ ආර්ය්යධර්මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්මයෙහි අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයෙහි නො හික්මුණු අශ්රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්ම විසින් සංඥාවිපර්ය්යාසයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දකී. වේදනාව- සංඥාව- සංස්කාරයන් විඥානය ආත්ම විසින් සංඥාවිපර්ය්යාසයෙන් දකී. ආත්මය විඥානය ඇතියක් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දකී. යම් මෙබඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකයෙක් දෘෂ්ටිවිස්ඵන්දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩි වැ ගැන්මෙක් පිහිටාගැන්මෙක් වැදගැම්මෙක් පරාමර්ශයෙක් කුමඟෙක් අයථාමාර්ගයෙක් මිථ්යාස්වභාවයෙක් (අනර්ත්ථයට නිවාසවූ තීර්ත්ථායතනයෙක් විපර්ය්යාසග්රහණයෙක් විපරීත ග්රහණයෙක් විපල්ලාසගාහයෙක් මිථ්යාග්රහණයෙක් අයථාස්වභාවයෙහි යථාස්වභාව යැයි ගැන්මෙක් යම් පමණ දෙසැට දෘෂ්ටිගතයෙක් වේ ද මොහු දෘෂ්ටි විසූකයෝ යි.” දිට්ඨීවිසූකානි උපාතිවත්තො යනු: දෘෂ්ටිවිසූකයන් බැහැර කෙළෙම් ඉක්ම වූයෙම් මොනොවට ඉක්ම වූයෙම් වෙසෙසින් ඉක්මවූයෙම් නු යි ‘දිට්ඨීවිසූකානි උපාතිවත්තො, යනු වේ.
පත්තො නියාමං පටිලද්ධමග්ගො - ‘නියාමයෝ’ යි සතරමාර්ගය ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගය කියනු ලැබෙති. හෙමෙසේයි යැ: සම්යග්දෘෂ්ටි යැ සම්යක්සංකල්ප යැ සම්යක් වචන යැ සම්යක්කර්මාන්ත යැ සම්යගාජීව යැ සම්යග්ව්යායාම යැ සම්යක්ස්මෘති යැ සම්යක්සමාධි යැ යි සතර ආර්ය්ය මාර්ගයෙන් සමන්වාගත වූයෙම් සම්මත්තනියාමයට පැමිණියෙම් මොනොවට පැමිණියෙම් අධිගම කෙළෙම් ස්පර්ශ කෙළෙම් ප්රත්යක්ෂ කෙළෙම් නුයි ‘පත්තෙ නියාමං’ යනු වේ. පටිලද්ධමග්ගො යනු: ලබන ලද මාර්ග ඇතියෙම් ප්රතිලාභ කළ මාර්ග ඇතියෙම් අධිගම කළ මාර්ග ඇතියෙම් ස්පර්ශ කළ මාර්ග ඇතියෙම් ප්රත්යක්ෂ කළ මාර්ග ඇතියෙම් නුයි ‘පත්තෝ නියාමං පටිලද්ධමග්ගෝ’ යනු වේ.