6.
විසිතුරු වූ මධුර වූ (බාලජනයන්ගේ) සිත් අලවන්නා වූ කාමයෝ විවිධස්වභාවයෙන් සිත අලළති. කාමගුණයෙහි ආදීනව දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
කාමා හි චිත්‍රා මධුරා මනෝරමා- ‘කාමා’ යනු: උද්දාන විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාම යැ ක්ලේශකාම යැ යි. මොහු ‘වස්තු කාමයෝ’යි කියනු ලැබෙති ... මොහු ‘ක්ලේශකාමයෝ’ යි කියනු ලැබෙත්. චිත්‍රා යනු: ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ නන්වැදෑරුම් වූ රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්‍ධයෝ යැ, රසයෝ යැ, ස්ප්‍රෂ්ටව්‍යයෝ යි.
මධුරා- යනු: මෙ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්: ‘මහණෙනි. මේ කාමගුණයෝ පස් දෙනෙක් වෙති: කවර පස්දෙනෙකැ යත්: ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රියස්චහාව ඇති කාමයෙන් යුක්ත වූ රජනීය වූ ඇසින් දතයුතු රූපයෝ යැ. කනින් දතයුතු ශබ්දයෝ යැ.- නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ යැ- දිවින් දතයුතු රසයෝ යැ.- ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණවූ කයින් දතයුතු ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි, මොහු පඤ්චකාමගුණයෝ යි. මහණෙනි, මේ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදීද මෙ සුවය නො සෙවිය යුතු නො වැඩිය යුතු පුනපුනා නො වැඩියයුතු කාම සුව යැ මීළඟ සුව යැ පුහුදුන්සුව යැ අනාර්‍ය්‍ය සුව යැයි කියනු ලැබේ. තෙල සුවයට බියවියයුතු යැ යි කියමි’. ‘කාමා හි චිත්‍රා මධුරා’ යනු වේ. මනෝරමා- ‘මනෝ’ යනු: ‘යම් සිතෙක් ... තජ්ජාමනොවිඤ්ඤාණධාතුවක් වේ ද, එයයි. සිත අලවති පසසති තුටු කෙරෙති පිනවත් නුයි ‘කාම හි චිත්‍රා මධුරා මනෝරමා’ යනු වේ.
විරූපරූපෙන මථෙන්ති චිත්තං යනු; නන්වැදෑරුම් වූ රූපයෙන්..... නන්වැදෑරුම් වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් සිත අලළති තුටු කෙරෙති ප්‍රහර්‍ෂ කෙරෙත් නුයි ‘විරූපරූපෙන මථෙන්ති චිත්තං’ යනු වේ.
ආදිනවං කාමගුණෙසු දිස්වා යනු: මෙ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, කාමයන්ගේ ආදීනව කවරැයත්: මහණෙනි, මෙ ලොව කුල පුත්‍රයෙක් හස්තමුද්‍රායෙන් වේවයි ගණනින් වේවයි පිණ්ඩගණනින් වේවයි කෘෂිකර්‍මයෙන් වේවයි වෙණෙදහමින් වේවයි ගවයන් රැකීමෙන් වේවයි ධනුශ්ශිල්පයෙන් වේවයි රාජසේවායෙන් වේවයි එක්තරා ශිල්පයෙකින් වේවයි ශීතයට පෙරටු වැ උෂ්ණයට පෙරටු වැ මැසි මදුරු වා අව් පහසින් පෙළෙමින් සාපවසින් මැරෙමින් දිවි රකි. මහණෙනි, මේ කාමයන් ගේ ප්‍රත්‍යක්‍ෂ ආදීනව යැ. කාමය හේතු කොට ඇති කාමය නිදාන කොට ඇති කාමය අධිකරණ කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්‍ධ යි.”
මහණෙනි, ඉදින් මෙසේ වීර්‍ය්‍ය්‍ය කරන ඝටනා කරන වෑයම් කරන ඒ කුලපුත්හට ඒ භෝගයෝ නො නිපයෙත් නම් ශෝක කෙරෙයි ක්ලාන්ත වෙයි වැලපෙයි උර පැහැර හඬයි. එකත්නෙන් මාගේ උත්සාහය සිස් යැ එකත්නෙන් මාගේ වෑයම අඵල යැයි සම්මෝහයට පැමිණෙයි. මහණෙනි, මෙ ද කාමයන්ගේ ප්‍රත්‍යක්‍ෂ ආදීනව වෙයි කාමය හේතු කොට ඇති කාමය නිදාන කොට ඇති කාමය අධිකරණ කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්‍ධ යි.