5.
මෙසෙයින් (ගණවාසය ඇති කල්හි) මට දෙ වැන්නකු හා සමග වාග්භිලාපය (දෙතිස් තිරිසන් කථා) වන්නේ යැ, (ඔහු කෙරෙහි) ඇල්ම හෝ වන්නේ යැ, ආයතිභවයෙහි තෙල බිය දැක්මින් කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
එවං දුතියෙන සහා මමස්ස යනු: තෘෂ්ණාව දෙ වැනි කොට ඇත්තේ හෝ පුද්ගලයකු දෙ වැනි කොට ඇත්තේ හෝ වෙයි. කිසෙයින් ‘තණ්හාදුතිය වේ’ යැ යත්: ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ....ධර්‍මතෘෂ්ණ යි, යමක්හු විසින් තෙල තෘෂ්ණාව ප්‍රහාණය නො කරන ලද ද හේ ‘තණ්හාදුතිය’ යි කියනු ලැබෙයි.
තෘෂ්ණාව දෙ වැනි කොට ඇති පුරුෂ තෙම දිගුකලක් මුළුල්ලෙහි සැරිසරනුයේ මෙ අත්බැවින් අන් අත්බවකට පැමිණීම වූ සසර නොඉක්මවා යි.
මෙසෙයින් ‘තණ්හාදුතිය’ නම් වෙයි.
කිසෙයින් ‘පුද්ගලදුතිය’ වේ යැ යත්: මෙලොවැ ඇතැමෙක් අර්‍ත්‍ථ හේතුයෙන් නො වැ කාරණහේතුයෙන් නොවැ උද්ධත වූයේ නො සන්හුන් සිත් ඇත්තේ එකකුට දෙ වැන්නෙක් හෝ වෙයි, දෙදෙනකුන්හට තෙ වැන්නෙක් හෝ වෙයි තිදෙනකුන්හට සතරවැන්නෙක් හෝ වෙයි, එහිදී බොහෝ කොට හිස් බස් තෙපලයි: හේ මෙසේයි: රාජකථා චෞරකථා මහාමාත්‍ර (මහඇමැතියන් පිළිබඳ) කථා සේනා කථා භය කථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්තුකථා යානකථා ශයනකථා මාලාකථා ගන්‍ධකථා ඥාතිකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා
පුරුෂකථා ශුරකථා වීථි පිළිබඳ කථා දියතොට (හෝ කළ දැසියන් පිළිබඳ) කථා පූර්වප්‍රෙත (පෙර නෑයන් පිළිබඳ) කථා නානාස්වභාව (නිරර්‍ත්‍ථක) කථා ලෝකායත කථා සමුද්‍රාඛ්‍යාන කථා වෘද්ධි-හානි මෙසේ වේ යැ යන කථා කියයි. මෙසෙයින් ‘පුද්ගලදුතිය’ වේ නුයි ‘එවං දූතියෙන සභා මමස්ස’ යනු වේ.
වාචාභිලාපො අභිසජ්ජනා වා- ‘වාචාභිලාප’ යි දෙතිස් තිරිසන් කථා කියනු ලැබෙයි. හෙ මෙසේයි: රාජකථා යැ ... මෙසෙයින් වෘද්ධි-හානි වේ යැ යන කථා යි. අභිසජ්ජනා වා යනු: සඞ්ග දෙකෙකි: තෘෂ්ණාසඞ්ග යැ දෘෂ්ටිසඞ්ග යි ... මේ තෘෂ්ණා සඞ්ග යැ...මේ දෘෂ්ටිසඞ්ග නුයි ‘වාචාභිලාපො අභිසජ්ජනා වා’ යනු වේ.
එතං භයං ආයති. පෙක්ඛමානො- ‘භය’ යනු; ජාතිය නිසා උපදනා බිය ජරාභය ව්‍යාධිභය මරණභය රාජභය චෞරභය අග්නිභය උදකභය තමා නුගුණ කීමෙන් උපදනා බිය මෙරමා නුගුණ කීමෙන් උපදනා බිය දඬුවමින් උපදනා බිය දුගතිය නිසා උපදනා බිය මුහුදුරළ නිසා උපදනා බිය මස්කැලන්ගෙන් උපදනා (හෝ කිඹුල්) බිය දිය සුළි නිසා උපදනා බිය සැඩමසුන් නිසා උපදනා (සුසුකා) බිය දිවි පැවැතුම් හෙයින් උපදනා බිය ගර්හාවෙන් උපදනා බිය පිරිස්හි තැතිගැනීමෙන් වන බිය කාමයෙන් වන බිය භයාකාරය, තැති ගන්නා බව, ලොමුදහ ගැනීම, චිත්තයාගේ උද්වේගය, උත්‍රාස යි. එතං භයං ආයති. පෙක්ඛමානො යනු: තෙල බිය ආයති භවයෙහි බලමින් දැක්මින් අවලෝකනය කෙරෙමින් ධ්‍යාන කෙරෙමින් විමසම්නි නුයි ‘එතං භයං ආයතිං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො’ යනු වේ.
එයින් වදාළහ එ පසේ බුදුහු:
“එවං දුතියෙන -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
6.
විසිතුරු වූ මධුර වූ (බාලජනයන්ගේ) සිත් අලවන්නා වූ කාමයෝ විවිධස්වභාවයෙන් සිත අලළති. කාමගුණයෙහි ආදීනව දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
කාමා හි චිත්‍රා මධුරා මනෝරමා- ‘කාමා’ යනු: උද්දාන විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාම යැ ක්ලේශකාම යැ යි. මොහු ‘වස්තු කාමයෝ’යි කියනු ලැබෙති ... මොහු ‘ක්ලේශකාමයෝ’ යි කියනු ලැබෙත්. චිත්‍රා යනු: ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ නන්වැදෑරුම් වූ රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්‍ධයෝ යැ, රසයෝ යැ, ස්ප්‍රෂ්ටව්‍යයෝ යි.