2.
ඉදින් පියවින් නිපුණ වූ සාධුවිහාර ඇති ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායකයකු නො ලැබේ නම් දිනූ රට හැරපියා එකලාව යන රජක්හු සෙයින් බාලයා හැරපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
නො චෙ ලභෙථ නිපකං සහායං යනු: ඉදින් පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධිමත් නුවණැති විමසුම් නුවණ ඇති තුලිතඥාන ඇති සහායකයකු නො ලැබේ නම් ප්‍රතිලාභ නො කෙරේ නම් අධිගම නො කෙරේ නම් නො විඳී නම් නුයි ‘නො චෙ ලභෙථ නිපකං සහායං’ යනු වේ.
සද්ධිං චරං සාධුවිහාරි ධීරං- ‘සද්ධිං චර’ යනු: එක් වැ හැසිරෙන සාධුවිහාරිං යනු: ප්‍රථමධ්‍යානයෙනුදු සාධුවිහාර ඇති ... නිරෝධසමාපත්ති යෙනුදු සාධුවිහාර ඇති, එලසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති. ධීරං යනු: ප්‍රාඥ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධිමත් නුවණැති විමසනනුවණ ඇති තුලිතඥාන ඇති නුයි ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’ යනු වේ.
රාජාව රට්ඨං විජිතං පහාය යනු: යම්සේ මුදුනෙහි බිසෙව්ලත් දිනන ලද සඞ්ග්‍රාම ඇති නසනලද පසමිතුරන් ඇති මුදුන්පත් අදහස් ඇති පිරිපුන් කොටු කොටුගුළු ඇති ක්‍ෂත්‍රිය රජ කෙනෙක් රට ද දනවු ද කොටුදු බොහෝ වූ කළ නොකළ රන් ඇති කොටුගුළුදු නුවර ද හැරපියා කෙහෙරවුළු බහාලා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය පැවිද්දට පැමිණ පළිබෝධ රහිත (කිසිත් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙත් ද වෙසෙත් ද ඉරියවු පවත්වත් ද පවතිත් ද රැකෙත් ද යැපෙත් ද යාපනය කෙරෙත් ද එසෙයින් පසේ බුදුහු ද හැම ගිහිගේ පළිබෝධය සිඳපියා අඹුදරු පළිබෝධය සිඳපියා ඥාති පළිබෝධය සිඳපියා සගයහළු පළිබෝධය සිඳපියා කෙහෙරවුළු බහාලා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍යශාසනයට පැමිණ අකිඤ්චනභාවයට පැමිණ එකලා වැ හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති පවතිති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි. ‘රාජා’ ව රට්ඨං විජිතං පහාය ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“නො චෙ ලභෙථ -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
3.
එකත්නෙන් සහායසම්පත් පසසම්හ. ශ්‍රේෂ්ඨ වූ සම වූ සහායයෝ සෙවියයුත්තාහ. නිරවද්‍ය භෝජන (ආජීව) ඇත්තේ තුලුන් නො ලැබ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
අද්ධා පසංසාම සහාය සම්පදං - ‘අද්ධා’ යනු: ඒකාන්තවචන යැ නිසැක වචන යැ නිශ්ශඞ්කාවචනයැ අදෛවධවචන යැ නො දෙහිත් වචන යැ නියොගවචන යැ නො බොල් වචන යැ අවිරුද්ධවචන යැ තෙල ‘අද්ධා’ යනු සනිටුහන් වචන යි. සහාය සම්පදං යනු: යම් සහායයෙක් අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් - අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන්- අශෛක්‍ෂ වූ විමුක්තිස්කන්‍ධයෙන්- අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශන ස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද, හේ සහායසම්පත් යි කියනු ලැබේ. අද්ධා පසංසාම සහාය සම්පදං යනු: සහායසම්පත් පසසම්හ තෙමම්හ කීර්‍තනය කරම්හ ගුණකියම්හ නුයි. ‘අද්ධා පසංසාම සහායසම්පදං’ යනු වේ.
සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා යනු: සහායයෝ ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥානදර්ශනයෙන්ශ්‍රේෂ්ඨ වෙති සහායයෝ ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥාන දර්‍ශනයෙන් සමසදෘශ වෙති. ශ්‍රේෂ්ඨසහායයෝ හෝ සදෘශ්සහායයෝ හෝ සේවනය කළයුත්තාහ. භජනය කළයුත්තාහ පර්‍ය්‍යුපාසන කළ යුත්තාහ පිළිවිසිය යුත්තාහ පරිප්‍රශ්න කළ යුත්තාහු නුයි ‘සෙට්ඨා සමා සෙවිතබ්බා සහායං’ යනු වේ.
එතෙ අලද්ධා අනවජ්ජභෝජි යනු: ‘සාවජ්ජභෝජි’ පුද්ගලයෙක් ඇත, ‘අනවජ්ජොභොජි’ පුද්ගලයෙක් ඇති.
සාවජ්ජභෝජී පුද්ගල කවරැ යත්: මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් විස්මය කරවීමෙන් උසස් කොට බිණීමෙන් නිමිති කරන බැවින් මෙරමා ගුණ නසන බැවින් ලාභයෙන් ලාභය සොයන බැවින් දැව දීමෙන් හුණදඩු දීමෙන් (තල් ආදී) පත්‍ර දීමෙන් පුෂ්පදානයෙන් ඵලදානයෙන් නහනු දීමෙන් සුණු දීමෙන් මැටි දීමෙන් දැහැටිදඬු දීමෙන් මුවදෝනා දිය දීමෙන් චාටුබස් කියන බැවින් මුද්ගසූපයක් වැනි වීමෙන් (දරුවන් වැඩිමාදී) පරිභටහාවයෙන් මෙරමා පිටුමස් කන බැවින් වාස්තුවිද්‍යායෙන් තිරශ්චීන විද්‍යාවෙන් අඞ්ගවිද්‍යාවෙන් නක්ෂත්‍රවිද්‍යාවෙන් දූතමෙහෙවරින් හසුන් ගෙනයෑමෙන් පා මෙහෙවරින් වෙදකමින් පිණ්ඩප්‍රතිපිණ්ඩකයෙන් දානානුප්‍රදානයෙන් නො දැහැමින් නො සෙමෙන් ලැබ ලබා, පැමිණ, විඳ, ප්‍රතිලාභ කොට දිවි රකී. මේ ‘සාවජ්ජභොජි පුද්ගල’යි කියනු ලැබේ.