4. 1. 7.
[සබ්රහ්මක සූත්රය]
106. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, යම් පුත්ර කෙනකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ බ්රහ්මයා සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්ර කෙනකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්වදේවතාවන් සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්ර කෙනෙකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්වාචාර්ය්යයන් සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්ර කෙනෙකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ සාහුනෙය්ය (වෙත පමුණුවා දන් දිය යුත්තන් සහිත) වෙත්.
මහණෙනි, බ්රහ්ම යන මෙය මවුපියන්ට නමෙකි. මහණෙනි, පූර්වදේව යන මෙය මවුපියන්ට නමෙකි. මහණෙනි, පූර්වාචාර්ය්ය යන මේ මවුපියන්ට නමෙකි. මහණෙනි, ආහුනෙය්ය යන මෙය මවුපියන්ට නමෙකි. ඒ කවර හෙයින යත්:
මහණෙනි, මවුපිය දෙදෙන පුත්රයනට බෙහෙවින් උපකාර ඇත්තෝ වෙත්. ජීවිතාරක්ෂකයෝ වෙත්. (අත් පා වඩා) පෝෂණය කරන්නෝ වෙත්. මේ ලොව (ඉටු අනිටු අරමුණු) දක්වන්නෝ වෙත්.
මෙ කරුණ භාග්යවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පුත්රප්රජාවට අනුකම්පා කරණ මවුපිය දෙදෙන පුත්රයනට බ්රහ්මයෝ යැ යි පූර්ව ආචාර්ය්යවරයෝ යැ යි ද (දුරින් ගෙණවුත් දිය යුත් ආහාරාදියට සුදුසු) ආහුනෙය්යයෝ යැ යි ද කියනු ලැබෙත්.
3. එහෙයින් නුවණැති පුද්ගල තෙමේ ඒ මවුපියනට නමස්කාර කරන්නේ ය. යලි ආහාරයෙන් ද, පානයෙන් ද, වස්ත්රයෙන් ද, සයනයෙන් ද, ඇඟ ඉළීමෙන් ද, නැහැවීමෙන් ද, පාදෙවීමෙන් ද, සත්කාර කරන්නේ ය.
4. පණ්ඩිතයෝ මවුපියන් කෙරෙහි ඒ (අත්පා මෙහෙකිරීමාදි) උවටැන් කිරීම නිසා මෙ ලොව දී ඔහු පසසත්. මරණින් මතු ස්වර්ගයෙහි ඉපිද අතිශයින් සතුටු වේ.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 8.
[බහුකාර සූත්රය]
107. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, යම් බමුණු ගැහැවි කෙනෙක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් තොපට උවටැන් කරන්නාහු වෙත් ද, ඔහු (තොපට) බෙහෙවින් උපකාර ඇත්තාහු වෙත්. මහණෙනි, තෙපි ද ඒ බමුණු ගැහැවියනට යම් හෙයකින් මුල යහපත් වූ මැද යහපත් වූ අවසන යහපත් වූ අර්ත්ථ සහිත වූ ව්යඤ්ජන සහිත වූ සියලු ලෙසින් සම්පූර්ණ වූ ධර්මය දේශනා කරවු ද, පිරිසුදු (ශාසනමාර්ග) බ්රහ්මචර්ය්යය ප්රකාශ කරවු ද, (එහෙයින්) ඔවුන්ට තෙපි ද බෙහෙවින් උපකාරීහ. මහණෙනි, මෙසේ වනාහි ඔවුනොවුන් ඇසුරු කොට චතුරෝඝය තරණය කරණු පිණිස මනා කොට සියලු සසරදුක් කෙළවර කරණු පිණිස මේ බ්රහ්මචර්ය්යය වසනු ලැබේ.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ගෘහස්ථයෝ ද ප්රව්රජිතයෝ ද යන දෙ පක්ෂය ඔවුනොවුන් ඇසුරු කරන්නාහු (ප්රතිපත්ති ප්රතිවේධ) සද්ධර්මය ද, අර්හත්ත්වය හා නිවණ ද සම්පාදනය කෙරෙත්.
3. පැවිද්දෝ ගෘස්ථයන්ගෙන් පීඩා උපද්රව දුරු කරණ සිවුරුය සෙනසුන් ය (පිණ්ඩපාත ගිලන්පස යන) ප්රත්යය ද පිළිගණිත්.
4. ආර්ය්ය පුද්ගලයා නිසා ගිහිගෙයි වෙසෙන ගෘහස්ථයෝ රහතුන්ගේ වචන අදහන්නාහු සුවිශුද්ධ ප්රඥාවෙන් ධ්යාන කරණ සුලු වූවාහු,
5. මේ අත්බැව්හිදී (ලොවී ලොවුතුරා) සැපයට මාර්ගය වූ (ශීලාදි) ධර්මයෙහි හැසිර සතුටු වන සුලු වූවාහු දෙව්ලොවෙහි කාමසැප කැමැත්තාහු සතුටු වෙත්.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.