චතුෂ්ක නිපාතය
4. 1. 1.
[බ්රාහ්මණ සූත්රය]
100. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, (කැමැති සේ ධර්මදානය කරන හෙයින්) ඉල්ලීමට සුදුසු වූ හැම කල්හි (ධර්මදානය සඳහා) පිරිසිදු කළ අත් ඇති, අන්තිම සිරුරක් දරණ (සංසාරදුංඛරෝගයන්ට පිළියම් කරණ හෙයින්) උසස් වෛද්යවරයෙක් වූ, (රාගාදි හුල් උපුටා ලන හෙයින්) ශල්යකර්තෘවෛද්යවරයෙක් වූ මම් වනාහි (බැහැර කළ පව් ඇති හෙයින් පරමාර්ත්ථ) බ්රාහ්මණයෙක්මි. තෙපි වනාහි ඒ මාගේ (මුඛයෙන් දේශිත ධර්මයෙන් උපන් හෙයින්) මුඛයෙන් උපන් (ශාසනධර්මයෙහි උපන් හෙයින්) ධර්මජ වූ, ධර්මයෙන් ම නිර්මමිත වූ, ධර්මය දායාද කොට ඇති, ආමිසය දායාද කොට නැති ඖරස පුත්රයෝ වහු.
මහණෙනි, ආමිසදානය ධර්මදානයැ යි මේ දාන දෙකෙකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් මේ ධර්මදානයෙක් වේ නම් එය අග්ර ය.
මහණෙනි, ආමිසසංවිභාගය ධර්මසංවිභාගයයැ යි මේ සංවිභාග දෙකෙකි. මහණෙනි, මේ සංවිභාග දෙක අතුරෙන් යම් ධර්මසංවිභාගයෙක් වේ නම් මෙය අග්රය.
මහණෙනි, ආමිසානුග්රහය ය ධර්මානුග්රහය යැ යි මේ අනුග්රහය දෙකෙකි. මහණෙනි, මේ අනුග්රහ දෙක අතුරෙන් යම් ධර්මානුග්රහයෙක් වේ නම් මෙය අග්ර ය.
මහණෙනි, ආමිසයාගය ධර්මයාගය යැ යි මේ යාග දෙකෙකි. මහණෙනි, මේ යාග දෙක අතුරෙන් යම් ධර්මයාගයෙක් වේ නම් මෙය අග්ර ය.
මෙ කරුණ භාග්යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මසුරුමල රහිත වූ සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති යම් තථාගතයන් වහන්සේ කෙනෙක් ධර්මදානය දුන් සේක් ද, දෙව් මිනිසුන් අතරෙහි ශ්රේෂ්ඨ වූ භවයාගේ පරතෙරට පැමිණි එබඳු වූ තථාගතයන් වහන්සේට සත්ත්වයෝ නමස්කාර කෙරෙත්.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 2.
[චතුරනවද්ය සූත්රය]
101. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ස්වල්ප වූ ද සුලභ වූ ද මේ ප්රත්යයයෝ සිවු දෙනෙක් වෙත්. ඔහු නිදොස් ද වෙති. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, චීවර අතුරෙන් පංසුකූලචීවරය ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ. මහණෙනි, භෝජනයන් අතුරෙන් පිඬු සිඟීමෙන් ලත් භෝජනය ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ. මහණෙනි, සෙනසුන් අතුරෙන් රුක්මුල් සෙනසුන ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ. මහණෙනි, බෙහෙත් අතුරෙන් පූතිමූත්ර නම් වූ බෙහෙත ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ.
මහණෙනි, ස්වල්ප වූ ද සුලභ වූ ද නිදොස් වූ ද මේ ප්රත්යයයෝ සිවු දෙන වෙත්.
මහණෙනි, යම් හෙයකින් මහණ තෙමේ ස්වල්ප වූ ද සුලභ වූ ද ප්රත්යයෙන් සතුටු වූයේ වේ ද ඒ (සතුට) මේ මහණහුගේ මහණදම පිළිබඳ එක් අඞ්ගයෙකැයි මම් කියමි.
මෙ කරුණ භාග්යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ස්වල්ප වූ ද සුලභ වූ ද නිදොස් වූ ද ප්රත්යයයෙන් සතුටු වූවහුගේ සෙනසුන ද, සිවුර ද ගිලන්පස හා පිණ්ඩපාතය ද අරබයා සිතැ දුකෙක් නැත්තේ ය. (ඔහුට) දිසා ද පටහැනි නො වේ.
3. මහණදමට අනුලොම් වූ යම් ප්රතිපත්ති ධර්ම කෙනෙක් කියන ලද්දාහු ද (ඒ ධර්මයෝ) සතුටු සිත් ඇති අප්රමත්ත වූ මේ මහණහු විසින් (විරුද්ධ ධර්මයන් මැඩ) අයත් කැරැ ගන්නා ලද්දාහු වෙත්.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 3.
[ආස්රවක්ෂය සූත්රය]
102. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මම දන්නාහට ද දක්නාහට ද ආස්රවක්ෂය (ආර්ය්යමාර්ගාධිගමය) කියමි. මහණෙනි, කුමක් දන්නාහට, කුමක් දක්නාහට ආස්රවක්ෂය වේ ද?