4. 1. 8.
[බහුකාර සූත්‍රය]
107. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, යම් බමුණු ගැහැවි කෙනෙක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් තොපට උවටැන් කරන්නාහු වෙත් ද, ඔහු (තොපට) බෙහෙවින් උපකාර ඇත්තාහු වෙත්. මහණෙනි, තෙපි ද ඒ බමුණු ගැහැවියනට යම් හෙයකින් මුල යහපත් වූ මැද යහපත් වූ අවසන යහපත් වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියලු ලෙසින් සම්පූර්‍ණ වූ ධර්‍මය දේශනා කරවු ද, පිරිසුදු (ශාසනමාර්‍ග) බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරවු ද, (එහෙයින්) ඔවුන්ට තෙපි ද බෙහෙවින් උපකාරීහ. මහණෙනි, මෙසේ වනාහි ඔවුනොවුන් ඇසුරු කොට චතුරෝඝය තරණය කරණු පිණිස මනා කොට සියලු සසරදුක් කෙළවර කරණු පිණිස මේ බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද යන දෙ පක්‍ෂය ඔවුනොවුන් ඇසුරු කරන්නාහු (ප්‍රතිපත්ති ප්‍රතිවේධ) සද්ධර්‍මය ද, අර්‍හත්ත්‍වය හා නිවණ ද සම්පාදනය කෙරෙත්.
3. පැවිද්දෝ ගෘස්ථයන්ගෙන් පීඩා උපද්‍රව දුරු කරණ සිවුරුය සෙනසුන් ය (පිණ්ඩපාත ගිලන්පස යන) ප්‍රත්‍යය ද පිළිගණිත්.
4. ආර්‍ය්‍ය පුද්ගලයා නිසා ගිහිගෙයි වෙසෙන ගෘහස්ථයෝ රහතුන්ගේ වචන අදහන්නාහු සුවිශුද්ධ ප්‍රඥාවෙන් ධ්‍යාන කරණ සුලු වූවාහු,
5. මේ අත්බැව්හිදී (ලොවී ලොවුතුරා) සැපයට මාර්‍ගය වූ (ශීලාදි) ධර්‍මයෙහි හැසිර සතුටු වන සුලු වූවාහු දෙව්ලොවෙහි කාමසැප කැමැත්තාහු සතුටු වෙත්.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 9.
[කුහ සූත්‍රය]
108. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් කිසි භික්‍ෂු කෙනෙක් කුහක වූවාහු (ජනයන් විස්මය පත් කරන්නාහු) (ක්‍රෝධයෙන් හා මානයෙන්) දැඩි සිත් ඇත්තාහු (ප්‍රත්‍යය සඳහා ජනයන්) පොළොඹවන්නාහු, ශෘඞ්ගදෘස වූවාහු (ප්‍රකට කෙලෙස් ඇත්තාහු) උස් වූ මානනළ ඇත්තාහු, එකඟසිත් නැත්තාහු වෙද්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා අයත් වූවෝ නො වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙන් බැහැර වූවෝ වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙහි (ශීලාදි ගුණයෙන්) වැඩීමට ද නැගීමට ද මහත් බවට ද නො පැමිණෙත්.
මහණෙනි, යම් කිසි භික්‍ෂු කෙනෙක් කුහක නොවූවාහු (ප්‍රත්‍යය පිණිස) නොපොළඹ වන්නාහු ප්‍රාඥ වූවාහු දැඩි නොවූවාහු එකඟ සිත් ඇත්තාහු වෙද්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා අයත් වූවාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ සස්නෙන් බැහැර නොවූවාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ සස්නෙහි ශීලාදි ගුණයෙන් වැඩීම ද (අචල ව) නැගීමට ද (පතළ බැවින්) මහත් බවට ද පැමිණෙති.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් භික්‍ෂූ කෙනෙක් කුහක වූවාහු, දැඩි වූවාහු (ජනයන්) පොළඹ වන්නාහු, ප්‍රකට කෙලෙස් ඇත්තාහු, උස්වූ මාන නළ ඇත්තාහු, එකඟ සිත් නැත්තාහු වෙද්ද, ඒ භික්‍ෂූහු බුදුරදුන් වදාළ ධර්‍මයෙහි වැඩීමට නො පැමිණෙත්.
3. (යම් කෙනෙක්) කුහක නොවූවාහු (ප්‍රත්‍යය පිණිස) නොපොළොඹ වන්නාහු, ප්‍රාඥ වූවාහු, දැඩි සිත් නැත්තාහු, මනා කොට එකඟ සිත් ඇත්තාහු වෙද්ද, ඔහු ඒකාන්තයෙන් බුදුරදුන් වදාළ සද්ධර්‍මයෙහි වැඩීමට පැමිණෙත්.”
මෙ කරුණ භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 10.
[පුරුෂප්‍රියරූප සූත්‍රය]
109. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ප්‍රිය ස්වභාවය හා සුඛස්වභාවය ඇති ස්වර්‍ණාදි වස්තුව නිසා යම්සේ පුරුෂයෙක් ගඟෙහි සැඩ දිය පහරින් පහලට ගෙණ යනු ලැබේ ද, එහි ඇස් ඇති පුරුෂයෙක් ගංතෙර සිටියේ, (ඔහු) දැක මෙසේ කියන්නේ ය: “එම්බල පුරුෂය, තෝ ප්‍රියස්වභාවය හා සුඛස්වභාවය ඇති වස්තුව නිසා ගඟෙහි සැඩ දිය පහරින් පහලට ගෙණ යනු ලැබෙන්නෙහි නමුදු මේ නදියේ පහල රළ සහිත වූ දිය සුළි සහිත වු ග්‍රාහ (චණ්ඩ මත්ස්‍යාදීන්ගේ ගැණීම්) සහිත වූ දිය රකුසන් සහිත වූ මහවිලෙක් ඇත්තේ ය. එම්බල පුරුෂය, තෝ යම් ඒ විලකට පැමිණ මරණයට හෝ මරණය තරම් දුකකට හෝ පැමිණෙන්නෙහි ද, එසේ වූ විලෙක” (කියායි.) මහණෙනි, එ කල්හි ඒ පුරුෂ තෙමේ ඒ පුරුෂයාගේ වචනය අසා අතින් ද පයින් ද දියපහර තරණය කරන්නේ ය.