4. 1. 6.
[තෘෂ්ණෝත්පාද සූත්‍රය]
105. භාග්‍යවතුන් වහන්සේ විසින්මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, යමක් නිමිති කොට භික්‍ෂුහට තෘෂ්ණාව උපදී නම් තෘෂ්ණෝත්පාද කාරණයෝ මේ සිවු දෙනෙක් වෙත්. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, චීවරය හේතු කොට ගෙණ ද භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, පිණ්ඩපාතය හේතු කොට ගෙණ ද භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, සේනාසනය හේතු කොට ගෙණ ද භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, මෙසේ ප්‍රණීත-අප්‍රණීත-අති ප්‍රණීත දෑ හේතු කොට ගෙණ ද තෘෂ්ණාව උපදිනුයේ උපදී.
මහණෙනි, යමක් හේතු කොට භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී ද, මේ ඒ තෘෂ්ණෝත්පාද කාරණයෝ සිවු දෙන වෙති.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “තෘෂ්ණා දෙවෙනි කොටැති (තෘෂ්ණාව සහාය කොටැති) පුරුෂ තෙම දීර්‍ඝ කාලයක් මුළුල්ලෙහි හැසිරෙන්නේ මේ ආත්මභාවය ද අනාගත ආත්මභාවය ද ලක්‍ෂණ කොට ඇති සංසාරය නො ඉක්මෙයි.
3. තෘෂ්ණාව සසර දුකට මුල් වන්නේ යැ යි මෙසේ ආදීනව වශයෙන් දැන පහ කරණ ලද තෘෂ්ණාව ඇති (නැවත භවයෙහි පිළිසඳ ගැන්මක් නැති හෙයින්) ආදාන රහිත වූ, ස්මෘතිමත් වූ (ක්‍ෂීණාස්‍රව) භික්‍ෂු තෙමේ සංසාර ප්‍රවෘත්තියෙන් ඉවත් වන්නේ ය.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 7.
[සබ්‍රහ්මක සූත්‍රය]
106. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ බ්‍රහ්මයා සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්‍වදේවතාවන් සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය්‍යයන් සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ සාහුනෙය්‍ය (වෙත පමුණුවා දන් දිය යුත්තන් සහිත) වෙත්.
මහණෙනි, බ්‍රහ්ම යන මෙය මවුපියන්ට නමෙකි. මහණෙනි, පූර්‍වදේව යන මෙය මවුපියන්ට නමෙකි. මහණෙනි, පූර්‍වාචාර්‍ය්‍ය යන මේ මවුපියන්ට නමෙකි. මහණෙනි, ආහුනෙය්‍ය යන මෙය මවුපියන්ට නමෙකි. ඒ කවර හෙයින යත්:
මහණෙනි, මවුපිය දෙදෙන පුත්‍රයනට බෙහෙවින් උපකාර ඇත්තෝ වෙත්. ජීවිතාරක්‍ෂකයෝ වෙත්. (අත් පා වඩා) පෝෂණය කරන්නෝ වෙත්. මේ ලොව (ඉටු අනිටු අරමුණු) දක්වන්නෝ වෙත්.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පුත්‍රප්‍රජාවට අනුකම්පා කරණ මවුපිය දෙදෙන පුත්‍රයනට බ්‍රහ්මයෝ යැ යි පූර්‍ව ආචාර්‍ය්‍යවරයෝ යැ යි ද (දුරින් ගෙණවුත් දිය යුත් ආහාරාදියට සුදුසු) ආහුනෙය්‍යයෝ යැ යි ද කියනු ලැබෙත්.