4. 1. 5.
[සීලසම්පන්න සූත්රය]
104. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. මහණෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් සිල්වත් වූවාහු, සමාධියෙන් යුක්ත වූවාහු, ප්රඥාවෙන් යුක්ත වූවාහු, ඵලවිමුක්තියෙන් යුක්ත වූවාහු, විමුක්තිඥානදර්ශන (ප්රත්යවේක්ෂාඥාන) යෙන් යුක්ත වූවාහු වෙද්ද, අවවාද දෙන්නාහු, කරුණු දන්වන්නාහු, සමාදන් කරවන්නාහු (උත්සාහවත් කැරැවීමෙන්) තෙද ගන්වන්නාහු (අනුසස් දැක්වීමෙන්) සතුටු කරවන්නාහු වෙද්ද, (අනුග්රහයෙන්) සද්ධර්මය දේශනා කිරීමෙහි පොහොසත් වූවාහු වෙත්ද
මහණෙනි, ඒ භික්ෂූන්ගේ දැකීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන්ගේ ඇසීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන් කරා එළැඹීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන් (වතාවත් කිරීමෙන්) පර්ය්යුපාසනය කිරීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන් සිහි කිරීම ද බෙහෙවින් උපකාරී යැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන් අනුවැ පැවිදිවීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි.
කවරහෙයින යත්:
මහණෙනි, එබඳු භික්ෂූන් සේවනය භජනය පර්ය්යුපාසනය කරන්නාහට සම්පූර්ණ නොවූ ශීලස්කන්ධය භාවනාවෙන් සම්පූර්ණ බවට යෙයි. සම්පූර්ණ නොවූ සමාධිස්කන්ධය භාවනාවෙන් සම්පූර්ණ බවට යෙයි, සම්පූර්ණ නොවූ ප්රඥාස්කන්ධය භාවනාවෙන් සම්පූර්ණ බවට යෙයි. සම්පූර්ණ නොවූ විමුක්තිස්කන්ධය භාවනාවෙන් සම්පූර්ණ බවට යෙයි, සම්පූර්ණ නොවූ විමුක්තිඥානදර්ශනස්කන්ධය භාවනාවෙන් සම්පූර්ණ බවට යෙයි.
මහණෙනි, මෙබඳු වූ ඒ භික්ෂූහු (අනුශාසන කරණ හෙයින්) ශාස්තෘහු යැ යි ද කියනු ලැබෙත්. (සසර කතරින් එතෙර කරණ හෙයින්) සාර්ත්ථවාහ යැ යි ද කියනු ලැබෙත්. (රාගාදි කෙලෙස් පහකරණ හෙයින්) රණඤ්ජහ යැ යි ද කියනු ලැබෙත්. (මොහඳුරු දුරුකරණ හෙයින්) තමෝනුද යැ යි ද කියනු ලැබෙත්. (ප්රඥාවභාසය ඇති කරණ හෙයින්) ඕභාසකර යැයි ද කියනු ලැබෙත්. (ප්රඥාදීපය ඇතිකරණ හෙයින්) පජ්ජෝත්තකර යැයි ද කියනු ලැබෙත්. (දහම් නමැති ගිනිසුල දරණ හෙයින්) උක්කාදර යැ යි ද කියනු ලැබෙත්. (ප්රඥාප්රභාව ඇතිකරණ හෙයින්) පභඞ්කර යැයි ද කියනු ලැබෙත්. (ක්ලේශයන්ගෙන් දුරු වූ හෙයින්) ආර්ය්ය යැයි ද කියනු ලැබෙත්. (ප්රඥාචක්ෂුසගේ ප්රතිලාභයෙන්) චක්ඛුමන්තු (ඇස්ඇත්තෝ) යැ යි ද කියනු ලැබෙත්.
මෙකරුණ භාග්යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “වඩන ලද සිත් සතන් ඇති, දැහැමින් ජීවත් වන සුලු වූ ආර්ය්යයන්ගේ යම් දැකීම් ආදියෙක් වේ නම් එය ප්රාඥයන්ගේ සතුටට කරුණු වේ.
3. ඥානප්රභා ඇති කරණ, ප්රඥාලෝකය කරණ, ප්රඥාචක්ෂුස ඇති කෙලෙස් දුරු කරණ ඒ ප්රාඥයෝ සද්ධර්මය ප්රකට කෙරෙත්. දහම් එළියෙන් ලොව ආලොකවත් කෙරෙත්.
4. නුවණැත්තෝ යම් ආර්ය්ය කෙනකුන්ගේ අවවාදය අසා සම්යක් ප්රඥාවෙන් දැන ජාතික්ෂය (සඞ්ඛ්යාත අර්හත්ත්වය) අවබෝධ කොට ඒකාන්තයෙන් පුනර්භවයට නො යෙත්.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 6.
[තෘෂ්ණෝත්පාද සූත්රය]
105. භාග්යවතුන් වහන්සේ විසින්මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, යමක් නිමිති කොට භික්ෂුහට තෘෂ්ණාව උපදී නම් තෘෂ්ණෝත්පාද කාරණයෝ මේ සිවු දෙනෙක් වෙත්. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, චීවරය හේතු කොට ගෙණ ද භික්ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, පිණ්ඩපාතය හේතු කොට ගෙණ ද භික්ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, සේනාසනය හේතු කොට ගෙණ ද භික්ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, මෙසේ ප්රණීත-අප්රණීත-අති ප්රණීත දෑ හේතු කොට ගෙණ ද තෘෂ්ණාව උපදිනුයේ උපදී.