4. 1. 4.
[සමණබ්රාහ්මණ සූත්රය]
103. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් කිසි ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ දුක යැ යි තතු සේ නො දනිද් ද, මේ දුක්ඛසමුදය යැ යි තතු සේ නො දනිද් ද, මේ දුක්ඛනිරෝධයැ යි තතු සේ නො දනිද්ද, මේ දුක්ඛනිරෝධගාමිනී ප්රතිපත්තිය යැ යි තතු සේ නො දනිද්ද. මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතුරෙහි ශ්රමණ යැ යි මා විසින් සම්මත නො කරණු ලැබෙත්. බ්රාහ්මණයන් අතුරෙහි බ්රාහ්මණ යැ යි සම්මත නො කරණු ලැබෙත්. ඒ ආයුෂ්මත්හු ශ්රාමණ්යාර්ත්ථය හෝ බ්රාහ්මණ්යාර්ත්ථය හෝ මේ අත්බව්හි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට එළඹ වාසය නො කෙරෙත්.
මහණෙනි, යම් කිසි ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ දුක යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛසමුදය යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛනිරෝධ යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛනිරෝධගාමිනී ප්රතිපත්ති යැ යි තතු සේ දනිද්ද. මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතුරෙන් ශ්රමණ යැ යි ද මා විසින් සම්මත කරණු ලැබෙත්. බ්රාහ්මණයන් අතුරෙන් බ්රාහ්මණ යැ යි ද සම්මත කරණු ලැබෙත්. ඒ ආයුෂ්මත්හු ශ්රාමණ්යාර්ත්ථය හෝ බ්රාහ්මණ්යාර්ත්ථය හෝ මේ අත්බව්හි ම තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කෙරෙත්.
මෙ කරුණ භාග්යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් කෙනෙක් (ස්කන්ධප්රවෘත්තිය) දුක යැ යි නො දනිද්ද, යලි දුකට හේතුව නො දනිද්ද, යම් තැනෙක්හි හැම ලෙසින් ඉතිරි නොකොට දුක් නැති වේ නම් (එ නිවණ) නො දනිද්ද, දුක් සංහිඳීමට පමුණුවන (ආර්ය්ය) මාර්ගයත් නො දනිද්ද,
3. ඔවුහ් අර්හත්ත්වඵලසමාධියෙන් පිරිහුනාහු යලි අර්හත්ත්වඵල ප්රඥාවෙන් පිරිහුනාහු වෙත්. ඔහු දුක් කෙළවර කිරීමට සුදුස්සෝ නො වෙත්. ඒකාන්තයෙන් ඔහු ජාතිජරාදි දුකට පැමිණියෝ වෙත්.
4. යම් කෙනෙකුත් දුක යැ යි මනා සේ දනිද්ද. යලි දුකට හේතුව දනිද්ද, යම් තැනෙක්හි හැම ලෙසින් ඉතිරි නොකොට දුක් නැති වේ නම් (ඒ නිවණ) දනිද්ද, දුක් සංහිඳීමට පමුණුවන (ආර්ය්ය) මාර්ගයත් දනිද්ද,
5. ඔවුහු ඵලසමාධියෙන් යුක්ත වූවාහු, යලි ඵලප්රඥාවෙන් යුක්ත වූවාහු දුක් කෙළවර කිරීමට සුදුස්සෝ වෙත්. ඒකාන්තයෙන් ඔහු ජාතිජරාදි දුකට නො පැමිණෙත්.”
මෙ කරුණ භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 5.
[සීලසම්පන්න සූත්රය]
104. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. මහණෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් සිල්වත් වූවාහු, සමාධියෙන් යුක්ත වූවාහු, ප්රඥාවෙන් යුක්ත වූවාහු, ඵලවිමුක්තියෙන් යුක්ත වූවාහු, විමුක්තිඥානදර්ශන (ප්රත්යවේක්ෂාඥාන) යෙන් යුක්ත වූවාහු වෙද්ද, අවවාද දෙන්නාහු, කරුණු දන්වන්නාහු, සමාදන් කරවන්නාහු (උත්සාහවත් කැරැවීමෙන්) තෙද ගන්වන්නාහු (අනුසස් දැක්වීමෙන්) සතුටු කරවන්නාහු වෙද්ද, (අනුග්රහයෙන්) සද්ධර්මය දේශනා කිරීමෙහි පොහොසත් වූවාහු වෙත්ද
මහණෙනි, ඒ භික්ෂූන්ගේ දැකීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන්ගේ ඇසීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන් කරා එළැඹීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන් (වතාවත් කිරීමෙන්) පර්ය්යුපාසනය කිරීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන් සිහි කිරීම ද බෙහෙවින් උපකාරී යැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්ෂූන් අනුවැ පැවිදිවීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි.