4. 1. 3.
[ආස්රවක්ෂය සූත්රය]
102. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මම දන්නාහට ද දක්නාහට ද ආස්රවක්ෂය (ආර්ය්යමාර්ගාධිගමය) කියමි. මහණෙනි, කුමක් දන්නාහට, කුමක් දක්නාහට ආස්රවක්ෂය වේ ද?
මහණෙනි, මේ (ස්කන්ධප්රවෘත්තිය) දුක යැයි දන්නාහට ද දක්නාහට ද ආස්රවක්ෂය වෙයි. මහණෙනි, මේ දුක්ඛසමුදය යැයි දන්නාහට ද දක්නාහට ද ආස්රවක්ෂය වෙයි. මහණෙනි, දුක්ඛනිරෝධයැ යි දන්නාහට ද දක්නාහට ද ආස්රවක්ෂය වෙයි. මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාව යැ යි දන්නාහට ද දක්නාහට ද ආස්රවක්ෂය වෙයි. මහණෙනි, මෙපරිද්දෙන් වනාහි දන්නාහට ද දක්නාහට ද ආස්රවක්ෂය වෙයි.
භාග්යවත්හු මෙකරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “පිළිවෙළින් ආර්ය්යමාර්ගය උපදවන (ඍජුමාර්ග සඞ්ඛ්යාත ආර්ය්යමාර්ග අනුව හැසිරෙන) ත්රිවිධ ශික්ෂා වඩන සේඛ පුද්ගලයාහට පළමු කොට රහත්මඟ නුවණ උපදී. එයට අනතුරුව අර්හත්වඵලය උපදී.
3. නැවත රහත්ඵල විමුක්තියෙන් මිදුනහුට උතුම් විමුක්තිඥානය ද, සංයෝජනයෝ ක්ෂීණ වූහ යි ආස්රවක්ෂයයෙහි (ප්රහීණ ක්ලේශ ප්රත්යවේක්ෂා) ඥානය ද උපදී.
4. (අභිධ්යාදි) සියලු ක්ලේශග්රන්ථයන්ගෙන් මිදීමට නිමිත්ත වූ මේ නිර්වාණය (චතුස්සත්යධර්මයන්) නොදන්නාවූ අඥාන වූ කුසීත පුද්ගලයා විසින් ලබන්නට නොහැක්කේ ය.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
4. 1. 4.
[සමණබ්රාහ්මණ සූත්රය]
103. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් කිසි ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ දුක යැ යි තතු සේ නො දනිද් ද, මේ දුක්ඛසමුදය යැ යි තතු සේ නො දනිද් ද, මේ දුක්ඛනිරෝධයැ යි තතු සේ නො දනිද්ද, මේ දුක්ඛනිරෝධගාමිනී ප්රතිපත්තිය යැ යි තතු සේ නො දනිද්ද. මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතුරෙහි ශ්රමණ යැ යි මා විසින් සම්මත නො කරණු ලැබෙත්. බ්රාහ්මණයන් අතුරෙහි බ්රාහ්මණ යැ යි සම්මත නො කරණු ලැබෙත්. ඒ ආයුෂ්මත්හු ශ්රාමණ්යාර්ත්ථය හෝ බ්රාහ්මණ්යාර්ත්ථය හෝ මේ අත්බව්හි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට එළඹ වාසය නො කෙරෙත්.
මහණෙනි, යම් කිසි ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ දුක යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛසමුදය යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛනිරෝධ යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛනිරෝධගාමිනී ප්රතිපත්ති යැ යි තතු සේ දනිද්ද. මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතුරෙන් ශ්රමණ යැ යි ද මා විසින් සම්මත කරණු ලැබෙත්. බ්රාහ්මණයන් අතුරෙන් බ්රාහ්මණ යැ යි ද සම්මත කරණු ලැබෙත්. ඒ ආයුෂ්මත්හු ශ්රාමණ්යාර්ත්ථය හෝ බ්රාහ්මණ්යාර්ත්ථය හෝ මේ අත්බව්හි ම තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කෙරෙත්.