4. 1. 13.
[ලෝකාවබෝධ සූත්රය]
112. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ලෝකය (දුඃඛසත්යය) තථාගත බුදුහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. තථාගත තෙම ලෝකයෙන් වෙන්වූයේ වෙයි. මහණෙනි, ලෝකයට හේතුව තථාගත බුදුහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. ලෝකයට හේතුව තථාගත බුදුහු විසින් (සමුච්ඡේද වශයෙන්) ප්රහීණ කරණ ලද්දේ ය. මහණෙනි, තථාගත බුදුහු විසින් ලෝකනිරෝධය (නිවණ) මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. තථාගත බුදුහු විසින් ලොකනිරොධය ප්රත්යක්ෂ කරණ ලද්දේ ය. මහණෙනි, ලෝකනිරෝධගාමිනීප්රතිපත්තිය (අරිඅටැගිමඟ) තථාගත බුදුහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. ඒ ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගය තථාගත බුදුහු විසින් වඩන ලද්දේ ය.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් ද, මහණබමුණන් සහිත දෙවිමින්සුන් සහිත සත්ත්වප්රජාව විසින් ද, යමක් දක්න ලද ද, අසන ලද ද, (නැහැය දිව කන යන මෙයින්) සම්ප්රාප්තග්රාහයෙන් ගන්නා ලද ද, සිතින් දැන ගන්නා ලද ද, (සොයා හෝ නොසොයා) ලබන ලද ද, (ලැබුවක් හෝ නොලැබූවක්) සොයන ලද ද, සිතින් විමසන ලද ද, ඒ සියල්ල යම් හෙයකින් තථාගත බුදුහු විසින් මැනැවින් අවබෝධ කරණ ලද්දේ ද, එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ.
මහණෙනි, තථාගත තෙම යම් රාත්රියෙක්හි නිරුත්තර වූ සම්යක් සම්බෝධිය අවබෝධ කෙරේ ද, යම් රාත්රියෙක්හි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවේ ද, මේ අතුරෙහි යමක් වදාරා ද, ප්රකාශ කෙරේ ද, දක්වා ද, ඒ සියල්ල එසේ ම වේ. අන් පරිද්දෙකින් නො වේ. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ.
මහණෙනි, තථාගත තෙම යම්සේ කියන්නේ ද, එසේ ම කරන්නේ වේ. තථාගත තෙමේ යම්සේ කරන්නේ ද, එසේ ම කියන්නේ වේ. මෙ පරිද්දෙන් යම්සේ කියන සුලු නම් එසේ කරණ සුලු ය. යම්සේ කරණ සුලු නම් එසේ කියන සුලු ය. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්වප්රජාවෙහි තථාගත තෙම අනුන් මැඩ පවත්වන්නේ අනුන් විසින් නො මඩනා ලද්දේ ය. ඒකාන්තයෙන් සියල්ල දක්නේ සියල්ල තමා වශයෙහි පවත්වයි. (එහෙයින්) තථාගත යැ යි කියනු ලැබේ.
මෙ කරුණ භාග්යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මුළු ලොව (ත්රෛධාතුක ලෝකසන්නිවාසය) මැනැවින් දැන, මුළු ලොව්හි (දතයුතු සියල්ල තත් වූ පරිද්දෙන් (දැන) සියලු ලෝකයෙන් වෙන් වූ, සියලු තෘෂ්ණාදෘෂ්ටි ග්රහණ රහිත වූ,
3. (රූපාදි අරමුණු) සියල්ල මැඩ පවත්වා සිටි ඒ ධීර තෙම ඒකාන්තයෙන් සියලු ක්ලේශග්රන්ථයන් මුදා සිටියේ වේ. (ඔහු විසින්) උතුම් නිවණ ඥානස්පර්ශයෙන් ස්පර්ශ කරණ ලදී. ඒ නිර්වාණය කොතැනිනුත් බියක් නැතියෙක.
4. දුක් රහිත වූ, සිඳින ලද සැක ඇති, සියලු කර්මයන්ගේ ක්ෂයයට පැමිණියාවූ මේ ක්ෂීණාස්රව බුදුරජ තෙමේ උපධික්ෂය සඞ්ඛ්යාත නිර්වාණයෙහි (එය අරමුණු කොටැති) ඵල විමුක්තියෙන් මිදුනේ වෙයි.
5. ඒ මේ භගවත් තෙමේ (චතුස්සත්යාවබෝධය කළ හෙයින්) බුද්ධ ය. මේ (භගවත්) තෙමේ (උපද්රවයන් ඉවසන හෙයින් හා කෙලෙස් නසන හෙයින්) නිරුත්තර සිංහ ය. හේ දෙවියන් සහිත ලෝකයාට ශ්රේෂ්ඨ (ධර්ම) චක්රය පැවැත්වූයේ ය.
6. මෙසේ යම් දෙව්මිනිස් කෙනෙක් බුදුන් සරණ ගියාහු ද, (ඔවුහු) (ගුණයෙන්) මහත් වූ (චතුර්වෛශාරද්යයෙන්) වීතසාර ද වූ උන් වහන්සේ කරා පැමිණ නමස්කාර කරත්.
7. තෙමේ දැමුනේ අනුන් දමනය කරන්නවුන් අතුරෙහි ශ්රේෂ්ඨ ය. ශාන්ත වූයේ අනුන් ශාන්ත කරන්නවුන් අතුරෙහි ඍෂි ය. තෙමේ මිදුනේ අනුන් මුදන්නවුන් අතුරෙහි අග්රය. තෙමේ එතෙරැ වූයේ එතෙරැ කරන්නවුන් අතුරෙහි උතුම් ය.
8. මෙසේ ගුණ දැන මහත් වූ වීතසාරද වූ ඔබ වහන්සේට (දෙව්මිනිස් ආදීහු) නමස්කාර කෙරෙත්. දෙවිමිනිසුන් සහිත ලෝකයෙහි ඔබ වහන්සේට සමාන පුද්ගලයෙක් නැත්තේ ය.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
චතුෂ්ක නිපාතය නිමි.
උද්දානය:
බ්රාහ්මණ සූත්රය, වතුඅනවජ්ජ සූත්රය, ජානතොආසවක්ඛය සූත්රය, සමණබ්රාහ්මණ සූත්රය, සීලසම්පන්න සූත්රය, තණ්හුප්පාද සූත්රය, සබ්රහ්මක සූත්රය, බහුකාර සූත්රය, කුහ සූත්රය, පුරිසපියරූප සූත්රය, චරතොආදිවිතක්ක සූත්රය, සම්පන්නසීල සූත්රය, ලෝකාවබෝධ සූත්රය - මෙතෙකින් මේ වර්ගයෙහි සූත්ර තෙළෙසෙකි.
සත්විසි සුතුරින් යුත් ඒකකනිපාතය ද, දෙවිසි සුතුරින් යුත් දුක නිපාතය ද, නැවැත සමපනස් සුතුරින් යුත් තිකනිපාතය ද, තෙළෙස් සුතුරින් යුත් චතුක්කනිපාතය දැ යි යන මේ යමෙක් වේ ද, එහි මේ එක්සිය දොළොසක් සූත්ර පෙරැ රහත්හු ශාසනස්ථිතිය පිණිස සංගායනා කොටැ තුබුවාහු ද, එය නමින් ඉතිවුත්තක යැ යි කීහු.
ඉතිවුත්තක පෙළ නිමි.