4. 1. 12.
[සම්පන්නසීල සූත්රය]
111. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සිල්වත් ව වාසය කරවු. පාතිමොක්ඛසංවරයෙන් යුක්ත ව පාතිමොක්ඛසංවරයෙන් සංවෘත ව ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත ව අණුප්රමාණ (ඉතා සුලු) වරදෙහි පවා බිය දක්නා සුලු ව වාසය කරවු. ශික්ෂාපදයන් මනා කොට සමාදන් ව ගෙණ හික්මෙවු.
මහණෙනි, සිල්වත් ව පාතිමොක්ඛසීලයෙන් යුක්ත ව පාතිමොක්ඛසංවරසීලයෙන් සංවෘත ව ආචාරගෝචර දෙකින් යුක්තව, අණුප්රමාණ වරදෙහි පවා භය දක්නා සුලු ව වසන, ශික්ෂාපදයන්හි මොනොවට සමාදන් ව හික්මෙන තොප විසින් මහණෙනි, මත්තෙහි කුමක් කටයුතු වන්නේ ද?
මහණෙනි, හැසිරෙන්නාවූ මහණහට කාමච්ඡන්දය පහ වූයේ වේ ද, ව්යාපාදය පහ වූයේ වේ ද,ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය (නොසංසුන් බව හා කුකුස් බව) පහ වූයේ වේ ද, විචිකිච්ඡාව පහ වූයේ වේ ද, වීර්ය්යය වඩනා ලද්දේ (එ හෙයින්) නො හැකුළුනේ සිහිය එළඹ සිටියේ (එහෙයින්) නො නටුයේ වේ ද, නාමකය හා රූපකය සංසිඳුනේ (එහෙයින්) දරථ රහිත වේ ද, සිත මනා ව පිහිටියේ (එහෙයින් ම) එකඟ වූයේ වේ ද, මහණෙනි, හැසිරෙන්නාවූ ද මෙබඳු මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇති පවට බිය ඇති නිතොර සම්පූර්ණ කරණ ලද වීර්ය්යය ඇති නිවන් කරා මෙහෙයූ සිතැති (කායජීවිතයෙහි අපේක්ෂා රහිත) තැනැත්තෙ කැයි කියනු ලැබේ.
මහණෙනි, සිටියාවූ ද මහණහට අධික ලෝභය පහ වූයේ වේ ද, ව්යාපාදය පහ වූයේ වේ ද, ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය පහ වූයේ වේ ද, සැකය පහ වූයේ වේ ද, වීර්ය්යය පටන්ගන්නා ලද්දේ (එහෙයින්) නොහැකුළුනේ වේ ද, සිහිය එළැඹ සිටියේ (එහෙයින්) නොනටුයේ වේ ද, නාමකය හා රූප කය සන්හිඳුනේ (එහෙයින්) දරථ රහිත වේ ද, සිත මනා ව පිහිටියේ (එහෙයින් ම) එකඟ වූයේ වේ ද, මහණෙනි, සිටියාවූ ද, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇති පවට බිය ඇති නිතොර පිරිපුන් වීර්ය්යය ඇති නිවන් කරා මෙහෙයූ සිතැත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, හුන්නාවූ ද මහණහට අධික ලෝභය පහ වූයේ වේ ද, ව්යාපාදය පහ වූයේ වේ ද, ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය පහ වූයේ වේ ද, සැකය පහ වූයේ වේ ද, වීර්ය්යය පිරිපුන් කරණ ලද්දේ (එහෙයින් ම) නොහැකුළුනේ වේ ද, සිහිය එළඹ සිටියේ (එහෙයින් ම) නොනටුයේ ද, නාමකය හා රූපකය සන්හිඳුනේ (එහෙයින් ම) දරථ රහිත වේ ද, සිත මනාව පිහිටියේ (එහෙයින් ම) එකඟවූයේ වේ ද, මහණෙනි, සිටියාවූ ද, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇති, පවට බිය ඇති, නිතොර පිරිපුන් වීර්ය්යය ඇති, නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මහණහට අධික ලෝභය පහ වූයේ වේ ද, ව්යාපාදය පහ වූයේ වේ ද, ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය පහ වූයේ වේ ද, විචිකිච්ඡාව පහ වූයේ වේ ද, වීර්ය්යය පිරිපුන් කරණ ලද්දේ (එහෙයින් ම) නොහැකුළුනේ වේ ද, සිහිය එළඹ සිටියේ (එහෙයින් ම) නොනටුයේ වේ ද, නාම කය හා රූප කය සන්හිඳුනේ (එහෙයින් ම) දරථ රහිත වේ ද, සිත මනා ව පිහිටියේ (එහෙයින් ම) එකඟ වූයේ වේ ද, මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මෙබඳු මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇති, පවට බිය ඇති, නිතොර පිරිපුන් කරණ වීර්ය්යය ඇති, නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැ යි කියනු ලැබේ.
මෙ කරුණ භාග්යවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “භික්ෂු තෙමේ වීර්ය්යය වඩනුයේ හැසිරෙන්නේ ය. වීර්ය්යය වඩනුයේ සිටින්නේ ය. වීර්ය්යය වඩනුයේ හිඳින්නේ ය. වීර්ය්යය වඩනුයේ නිදන්නේ ය. වීර්ය්යය වඩනුයේ අත් පා ඈ හකුළුවන්නේ ය. වීර්ය්යය වඩනුයේ (අඟපසඟ) දිගු කරන්නේ ය.
3. උඩ දිශාවෙහි ද, වටා දිශාභාගයන්හි ද, යට දිශාවෙහි ද යම් තාක් සත්ත්වසංස්කාරලෝකයාගේ පැවැත්මෙක් වේ ද, (ඒ හැම තන්හි) (නිස්සත්තනිජ්ජීව) ධර්මයන්ගේ ද පඤ්චස්කන්ධයන්ගේ ද උදයව්යය (ඇති වීම හා නැති වීම) විදර්ශනා නුවණින් බලන්නෙක් වන්නේ ය.
4. මෙබඳු විහරණ ඇති, කෙලෙස් තවන වීර්ය්යය ඇති, ශාන්ත පැවතුම් ඇති, සන්හුන් සිත් ඇති, චිත්තශමථයට සුදුසු ප්රතිපත්ති (ඥානදර්ශනවිශුද්ධිය) වඩන්නාවූ, හැම කල්හි සිහි ඇතියේ වූ භික්ෂු තෙම නිවණ කරා යවන ලද සිත් ඇත්තෙකැ යි (ආර්ය්යයෝ) කියත්.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.