4. 1. 11.
[චර සූත්‍රය]
110. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, හැසිරෙන්නාවූ ද භික්‍ෂුහට ඉදින් කාමවිතර්‍කයක් හෝ ව්‍යාපාදවිතර්‍කයක් හෝ විහිංසාවිතර්‍කයක් හෝ උපදී ද, මහණෙනි, ඉදින් ඒ මහණ තෙමේ ඒ විතර්‍කය ඉවසා ද (තදඞ්ගාදි වශයෙන්) පහ නො කෙරේ ද, (සිතින්) බැහැර නොකෙරේ ද, කෙළවර නොකෙරේ ද, නැවැත නොඉපදීමට නොපමුණුවා ද, මහණෙනි, හැසිරෙන්නාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ වීර්‍ය්‍ය නැත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, ඉදින් සිටියාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් එම විතර්‍කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවැත නොඉපදීමට නොපමුණුවා ද, මහණෙනි, සිටියාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්‍ය්‍යය නැත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, හුන්නාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් විතර්‍කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවත නොඉපදීමට නොපමුණවා ද, මහණෙනි, හුන්නාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්‍ය්‍යය නැත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවත නොඉපදීමට නො පමුණුවා ද, මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්‍ය්‍යය නැත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, හැසිරෙන්නාවූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයන ලද සිතැත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.
මහණෙනි, සිටියාවූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, මහණෙනි, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයන ලද සිතැත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.
මහණෙනි, හුන්නාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, මහණෙනි, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපැදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිතැත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.
මහණෙනි, නිදන්නා වූ ද නොනිදන්නා වූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.