4. 1. 10.
[පුරුෂප්රියරූප සූත්රය]
109. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ප්රිය ස්වභාවය හා සුඛස්වභාවය ඇති ස්වර්ණාදි වස්තුව නිසා යම්සේ පුරුෂයෙක් ගඟෙහි සැඩ දිය පහරින් පහලට ගෙණ යනු ලැබේ ද, එහි ඇස් ඇති පුරුෂයෙක් ගංතෙර සිටියේ, (ඔහු) දැක මෙසේ කියන්නේ ය: “එම්බල පුරුෂය, තෝ ප්රියස්වභාවය හා සුඛස්වභාවය ඇති වස්තුව නිසා ගඟෙහි සැඩ දිය පහරින් පහලට ගෙණ යනු ලැබෙන්නෙහි නමුදු මේ නදියේ පහල රළ සහිත වූ දිය සුළි සහිත වු ග්රාහ (චණ්ඩ මත්ස්යාදීන්ගේ ගැණීම්) සහිත වූ දිය රකුසන් සහිත වූ මහවිලෙක් ඇත්තේ ය. එම්බල පුරුෂය, තෝ යම් ඒ විලකට පැමිණ මරණයට හෝ මරණය තරම් දුකකට හෝ පැමිණෙන්නෙහි ද, එසේ වූ විලෙක” (කියායි.) මහණෙනි, එ කල්හි ඒ පුරුෂ තෙමේ ඒ පුරුෂයාගේ වචනය අසා අතින් ද පයින් ද දියපහර තරණය කරන්නේ ය.
මහණෙනි, අර්ත්ථාවබෝධයට මා විසින් මේ උපමාව කරණ ලදී. මෙහි මේ අර්ත්ථය වේ:
මහණෙනි, ගඟෙහි සැඩ දියපහර යන මෙය තෘෂ්ණාවට නමෙකි. මහණෙනි, ප්රියස්වභාවය හා සුඛස්වභාවය ඇති වස්තුව යන මෙය සවැදෑරුම් ආධ්යාත්මික ආයතනයට නමෙකි. මහණෙනි, පහල (භය සහිත) දියවිල යන මෙය පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයනට නමෙකි. මහණෙනි, රළ යන මෙය ක්රෝධයට හා උපායාසයට නමෙකි. මහණෙනි, දියසුළිය යන මෙය පඤ්චකාම ගුණයනට නමෙකි. මහණෙනි, සගහසරක්ඛස යන මෙය මාගමට නමෙකි. මහණෙනි, ප්රතිස්රෝතස යන මෙය නෙක්ඛම්මයට නමෙකි. අත්පාවලින් ව්යායාමය යන මෙය සතර සම්යක් ප්රධන්වීර්ය්යයට නමෙකි. මහණෙනි, ගංතෙර සිටි ඇස් ඇති පුරුෂයා යන මෙය අර්හත් සම්යක්සම්බුද්ධ තථාගතයනට නමෙකි.
මෙ කරුණ භාග්යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මතු (අනාගාමි බව හා අර්හත්ත්වය) පතන්නාවූ භික්ෂු තෙම දුක් සහිතව ම කාමයන් දුරු කරන්නේ ය. සම්යක් ප්රඥා ඇති, මොනොවට මිදුනු සිත් ඇති (හෙ තෙම) (මාර්ගඵලාධිගමය කළ) ඒ ඒ අවස්ථාවන්හි විමුක්තිසඞ්ඛ්යාත නිර්වාණය ස්පර්ශ කරන්නේ ය. වේද සඞ්ඛ්යාත මාර්ගඥානයෙන් චතුස්සත්යාවබෝධය කළා වූ, වැස නිම වූ බඹසර ඇති ඒ භික්ෂුතෙම ස්කන්ධලෝකයෙහි අනත්යට ගියේ යැ යි ද (සසර පරතෙර වූ) නිවණට ගියේ යැ යි ද කියනු ලැබේ.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 11.
[චර සූත්රය]
110. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, හැසිරෙන්නාවූ ද භික්ෂුහට ඉදින් කාමවිතර්කයක් හෝ ව්යාපාදවිතර්කයක් හෝ විහිංසාවිතර්කයක් හෝ උපදී ද, මහණෙනි, ඉදින් ඒ මහණ තෙමේ ඒ විතර්කය ඉවසා ද (තදඞ්ගාදි වශයෙන්) පහ නො කෙරේ ද, (සිතින්) බැහැර නොකෙරේ ද, කෙළවර නොකෙරේ ද, නැවැත නොඉපදීමට නොපමුණුවා ද, මහණෙනි, හැසිරෙන්නාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය්යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ වීර්ය්ය නැත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, ඉදින් සිටියාවූ ද මහණහට කාමවිතර්කයෙක් හෝ ව්යාපාදවිතර්කයෙක් හෝ විහිංසාවිතර්කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් එම විතර්කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවැත නොඉපදීමට නොපමුණුවා ද, මහණෙනි, සිටියාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය්යය නැති පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්ය්යය නැත්තෙකැ යි කියනු ලැබේ.