3. 5. 8.
[කල්‍යාණශිල සූත්‍රය]
97. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සොඳුරු (පිරිපුන්) සිල් ඇත්තාවූ, කල්‍යාණ (බෝධිපාක්‍ෂික) ධර්‍ම ඇත්තාවූ, කල්‍යාණ (මාර්‍ගඵලාදි) ප්‍රඥා ඇත්තාවූ මහණ තෙම මේ ශාසනයෙහි සියලු ගුණයෙන් යුත් (රහත් වූ) වැස නිමවූ බඹසර ඇති (අසේඛධර්‍මයෙන් යුත්) උත්තම පුරුෂයා යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් මහණ තෙම කලණ සිල් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වූයේ, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්තව වෙසේ ද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව අනුප්‍රමාණ (ඉතා සුළු) වූ ද වරදෙහි භය දක්නා සුලු වූයේ, ශික්‍ෂාපදයන්හි මනා කොට සමාදන්ව හික්මෙන්නේ වේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කලණ (පිරිපුන්) සිල් ඇත්තේ වේ. මෙ පරිද්දෙන් කලණ සිල් ඇත්තේ වෙයි.
මහණෙනි, කලණ දහම් ඇති මහණ තෙමේ කෙබඳු වේ ද? මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ කොටස් වශයෙන් සතක් වූ බෝධිපාක්‍ෂික ධර්‍මයන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදුනෙක්ව වෙසේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කල්‍යාණ ධර්‍ම ඇත්තේ වේ. මෙපරිද්දෙන් කලණ සිල් ඇත්තේ කලණ දහම් ඇත්තේ ද වේ.
මහණෙනි, කල්‍යාණප්‍රඥා ඇත්තේ කෙබඳු වේ ද? මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මේ අත්බව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කල්‍යාණප්‍රඥා ඇත්තේ වේ. මෙපරිද්දෙන් කල්‍යාණශීලය ඇත්තේ, කල්‍යාණධර්‍ම ඇත්තේ, කල්‍යාණප්‍රඥා ඇත්තේ මේ ශාසනයෙහි වැස නිම වූ බඹසර ඇති, රහත් වූ උත්තම පුරුෂයා යැ යි කියනු ලැබේ.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් මහණකුට කයින් හෝ වචසින් හෝ මනසින් වන දුශ්චරිතයෙක් (අකුශලයෙක්) නැත්තේ ද, හිරිසම්පන්න (පවෙහි ලජ්ජා ඇති) ඒ මහණ ඒකාන්තයෙන් කලණ සිල් ඇත්තේ ය යි කියත්.
3. යම් මහණෙකු විසින් ආර්‍ය්‍යමාර්‍ගඥානයට පමුණුවන සත් (බෝපැකි) දහම්හු වඩන ලද්දාහු ද, රාගාදි උස්සද රහිත වූ ඒ මහණ කල්‍යාණධර්‍ම ඇත්තෙකැ යි කියත්.
4. යම් මහණෙක් මේ අත්බව්හි ම තමාගේ දුඃඛක්‍ෂයය මැනැවින් දනී ද, ආස්‍රවරහිත වූ ඒ මහණ කල්‍යාණප්‍රඥා ඇත්තෙකැ යි කියත්.
5. ඒ (ශීල සමාධි ප්‍රඥා) ධර්‍මයන්ගෙන් යුක්ත වූ, දුක් රහිත වූ, සිඳින ලද සැක ඇති, තෘෂ්ණාදෘෂ්ටීන් ඇසුරු නොකළාවූ (ඔහු) සියලු සත්ත්‍වලෝකයෙහි සියල්ල පහ කළාවූ පුද්ගලයා යැ යි කියත්.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 9.
[දාන සූත්‍රය]
98. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, ආමිසදානය ධර්‍මදානයැ යි මේ දාන දෙකෙකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් ධර්‍මදානයෙක් වේ නම් මෙය අග්‍ර ය. මහණෙනි, ආමිසසංවිභාගය ධර්‍මසංවිභාගයැ යි මේ සංවිභාගයෝ දෙදෙනෙකි. මහණෙනි, මේ සංවිභාග දෙක අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම් මෙය අග්‍රය. මහණෙනි, ආමිස අනුග්‍රහය ධර්‍මානුග්‍රයැ යි මේ අනුග්‍රහ දෙකෙකි. මහණෙනි, මේ අනුග්‍රහ දෙක අතුරෙන් ධර්‍මානුග්‍රහය යන යමෙක් වේ නම් මෙය අග්‍රය.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “භගවත්හු උතුම් වූ නිරුත්තර වූ යම් දානයක් වදාළ ද, (උතුම්) යම් දානසංවිභාගයක් වැණුහු ද, අග්‍ර වූ පින්කෙතෙහි පහන් සිත් ඇති, මැනැවින් අනුසස් දන්නා, කවර නම් නුවණැත්තෙක් සුදුසු කල්හි ඒ දන් නො දෙන්නේ ද,
3. බුදුරදුන්ගේ ශාසනයෙහි පහන් සිත් ඇති යම් (දේශක) කෙනෙක් කියද්ද, යම් (ප්‍රතිග්‍රාහක) කෙනෙකුත් අසද්ද, ඒ දෙ පක්‍ෂය පිළිබඳ ධර්‍මදානාදි පරමාර්‍ත්‍ථය (ක්ලේශමල විශෝධනයෙන්) පිරිසිදු වෙයි. යම් කෙනෙක් බුද්ධානුශාසනයෙහි අප්‍රමත්ත වෙත් නම් (ඔවුන්ගේ) පරමාර්‍ත්‍ථය (අර්‍හත්ත්‍වඵලවිශුද්ධියෙන්) අතිශයින් පිරිසිදු වේ.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.