3. 5. 9.
[දාන සූත්‍රය]
98. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, ආමිසදානය ධර්‍මදානයැ යි මේ දාන දෙකෙකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් ධර්‍මදානයෙක් වේ නම් මෙය අග්‍ර ය. මහණෙනි, ආමිසසංවිභාගය ධර්‍මසංවිභාගයැ යි මේ සංවිභාගයෝ දෙදෙනෙකි. මහණෙනි, මේ සංවිභාග දෙක අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම් මෙය අග්‍රය. මහණෙනි, ආමිස අනුග්‍රහය ධර්‍මානුග්‍රයැ යි මේ අනුග්‍රහ දෙකෙකි. මහණෙනි, මේ අනුග්‍රහ දෙක අතුරෙන් ධර්‍මානුග්‍රහය යන යමෙක් වේ නම් මෙය අග්‍රය.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “භගවත්හු උතුම් වූ නිරුත්තර වූ යම් දානයක් වදාළ ද, (උතුම්) යම් දානසංවිභාගයක් වැණුහු ද, අග්‍ර වූ පින්කෙතෙහි පහන් සිත් ඇති, මැනැවින් අනුසස් දන්නා, කවර නම් නුවණැත්තෙක් සුදුසු කල්හි ඒ දන් නො දෙන්නේ ද,
3. බුදුරදුන්ගේ ශාසනයෙහි පහන් සිත් ඇති යම් (දේශක) කෙනෙක් කියද්ද, යම් (ප්‍රතිග්‍රාහක) කෙනෙකුත් අසද්ද, ඒ දෙ පක්‍ෂය පිළිබඳ ධර්‍මදානාදි පරමාර්‍ත්‍ථය (ක්ලේශමල විශෝධනයෙන්) පිරිසිදු වෙයි. යම් කෙනෙක් බුද්ධානුශාසනයෙහි අප්‍රමත්ත වෙත් නම් (ඔවුන්ගේ) පරමාර්‍ත්‍ථය (අර්‍හත්ත්‍වඵලවිශුද්ධියෙන්) අතිශයින් පිරිසිදු වේ.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 10.
[ත්‍රෛවිද්‍යා සූත්‍රය]
99. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මම් (සම්‍යක්ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත) කාරණයෙන් ත්‍රිවිද්‍යා ඇතියහු බ්‍රාහ්මණයා කොට පණවමි. (අට්ටකාදි ඍෂීන්) කී දෑ කියන පමණින් ත්‍රෛවිද්‍යායාගෙන් අන්‍ය වු එකකු බ්‍රාහ්මණ කොට නො පණවමි.
මහණෙනි, කෙසේ නම් කාරණයෙන් ත්‍රෛවිද්‍යාක බ්‍රාහ්මණයා පණවම් ද, ලපිතලාපන මාත්‍රයෙන් නො පණවම් ද?
මහණෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් නන්වැදෑරුම් වූ පෙරැ විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි: ඒ මෙසේ යි. එක් ජාතියක් ද, දෙ ජාතියක් ද, තුන් ජාතියක් ද, සිවු ජාතියක් ද, පස් ජාතියක් ද, දස ජාතියක් ද, විසි ජාතියක් ද, තිස් ජාතියක් ද, සතළිස් ජාතියක් ද, පනස් ජාතියක් ද, සියක් ජාතියක් ද, දහස් ජාතියක් ද, සියදහස් ජාතියක් ද, නොයෙක් නැසෙන කල්පයන් ද, නොයෙක් වැඩෙන කල්පයන් ද, නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද, අසෝ තැනැ වීමි. එහි මෙ නම් ඇත්තෙම් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙබඳු පැහැ ඇත්තෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සැප දුක් විඳින්නෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සැප දුක් විඳින්නෙම් වීමි, මෙබඳු ආයු සීමාවක් ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි යි මෙසේ ආකාර සහිත ව, උදෙසීම් සහිතව, නන් වැදෑරුම් පෙර වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමු වන විද්‍යාව ලද්දේ ය. ඔහුගේ පූර්වේනිවාසය වසා ලන මෝහය නැසුනේ ය., (පූර්වේනිවාසය දැන ගන්නා) විද්‍යාව පහළ විය. මොහඳුර නැසින. විද්‍යාලෝකය උපන. අප්‍රමත්ත ව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති ව කායජීවිතයෙහි අපේක්‍ෂා රහිත ව, වසන්නකුට යම්සේ ද එසේ ය.
මහණෙනි, නැවත අනෙකක් කියමි: ඒ මහණ තෙමේ පිරිසුදුවූ මිනිසැස ඉක්මැ පැවැත්තාවූ දිවැසින් චුත වන්නාවූ ද, උපදින්නාවූ ද, (ජාතිගෝත්‍රාදියෙන්) හීන වූ ද (ජාතිගෝත්‍රාදියෙන්) ප්‍රණීත වූ ද, මන වඩන රූසපුව ඇත්තාවූ ද, විරූපවර්‍ණ ඇත්තාවූ ද, යහපත් ගති ඇත්තාවූ ද, නපුරුගති ඇත්තාවූ ද, සත්ත්‍වයන් දකී කම් වූ පරිද්දෙන් (ඒ ඒ භවයට) ගියාවූ සත්ත්‍වයන් දනියි: පින්වත් මේ සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නාහු, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු, මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදන් කොට ගත්තාහු වෙත්. ඔහු තුමූ කායභේදයෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවශ ව පතිත වන නිරයට පැමිණියාහ. මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍විත වූවාහු, වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු, මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට උපවාද නොකරන්නාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදානය ඇත්තාහු වෙත්. ඔහු තුමූ කායභේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන්නාහු යි. මෙසේ මිනිසැස ඉක්ම පැවැත්තාවූ පිරිසිදු වූ දිවැසින්, චුත වන්නාවූ ද, උපදින්නාවූ ද, හීනවූ ද, ප්‍රණීත වූ ද යහපත් වර්‍ණ ඇත්තාවූ ද, දුර්‍වණවූ ද යහපත් ගති ඇත්තාවූ ද නපුරු ගති ඇත්තාවූ ද සත්ත්‍වයන් දකියි. කම් වූ පරිද්දෙන් (ඒ ඒ භවයට) ගියා වූ සත්ත්‍වයන් දනියි. ඔහු විසින් මේ දෙවෙනි (දිබ්බචක්ඛු) විද්‍යාව ලබන ලද්දේ වෙයි. (ච්‍යුතිප්‍රතිසන්‍ධිප්‍රතිච්ඡාදක) අවිද්‍යාව නැසිණ. විද්‍යාව උපන. මොහඳුර නසන ලදී. විද්‍යාලෝකය උපන. අප්‍රමත්ත වූ, වීර්‍ය්‍යයෙන් යුත්, කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂ වැ වසන්නකුට යම්සේ ද, එමෙනි.