3. 5. 7.
[කාමයෝග සූත්‍රය]
96. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, පඤ්චකාමගුණික රාග සඞ්ඛ්‍යාත කාමයොගයෙන් යුක්ත වූ ද, රූපාරූපභවයන්හි ඡන්‍දරාගසඞ්ඛ්‍යාත භවයොගයෙන් යුක්ත වූ ද පුද්ගල තෙමේ මේ මිනිසත් බවට (පිළිසිඳ ගැණීම් වශයෙන්) එන්නේ අගාමී වෙයි.
මහණෙනි, කාමයොගයෙන් වෙන් වූ භවයොගයෙන් යුක්ත වූ ද පුද්ගල තෙමේ මේ මිනිසත් බවට නොඑන්නේ අනාගාමී වෙයි.
මහණෙනි, කාමයොගයෙන් වෙන් වූ ද, භවයොගයෙන් වෙන් වූ ද පුද්ගල තෙමේ රහත් වූ ක්‍ෂීණාස්‍රවයෙක් වෙයි.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “කාමයොගයෙන් ද භවයොගයෙන් ද යන දෙපරිද්දෙන් ම යුක්ත වූ සත්ත්‍වයෝ ජාතිමරණගාමීහු වූවෝ සසර සරත්.
3. යම් කෙනෙක් කාමයන් පහ කොට, ආස්‍රවක්‍ෂයට නොපැමිණ භවයොගයෙන් යුක්ත වූවාහු ද (ඔහු) අනාගාමීහු යි කියනු ලැබෙත්.
4. යම් කෙනෙක් මුලුසුන් කරණ ලද සැක ඇත්තාහු ක්‍ෂය කරණ ලද (නවවිධ) මානය හා පුනර්‍භවය ඇත්තාහු ද, යමෙකුත් ආස්‍රවක්‍ෂයට පැමිණියාහු ද, (ඔහු) ඒකාන්තයෙන් ලොව්හි පරතෙරට ගියෝ නම් වෙත්.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
තුන්වන බණවරයි.
3. 5. 8.
[කල්‍යාණශිල සූත්‍රය]
97. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සොඳුරු (පිරිපුන්) සිල් ඇත්තාවූ, කල්‍යාණ (බෝධිපාක්‍ෂික) ධර්‍ම ඇත්තාවූ, කල්‍යාණ (මාර්‍ගඵලාදි) ප්‍රඥා ඇත්තාවූ මහණ තෙම මේ ශාසනයෙහි සියලු ගුණයෙන් යුත් (රහත් වූ) වැස නිමවූ බඹසර ඇති (අසේඛධර්‍මයෙන් යුත්) උත්තම පුරුෂයා යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් මහණ තෙම කලණ සිල් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වූයේ, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්තව වෙසේ ද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව අනුප්‍රමාණ (ඉතා සුළු) වූ ද වරදෙහි භය දක්නා සුලු වූයේ, ශික්‍ෂාපදයන්හි මනා කොට සමාදන්ව හික්මෙන්නේ වේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කලණ (පිරිපුන්) සිල් ඇත්තේ වේ. මෙ පරිද්දෙන් කලණ සිල් ඇත්තේ වෙයි.
මහණෙනි, කලණ දහම් ඇති මහණ තෙමේ කෙබඳු වේ ද? මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ කොටස් වශයෙන් සතක් වූ බෝධිපාක්‍ෂික ධර්‍මයන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදුනෙක්ව වෙසේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කල්‍යාණ ධර්‍ම ඇත්තේ වේ. මෙපරිද්දෙන් කලණ සිල් ඇත්තේ කලණ දහම් ඇත්තේ ද වේ.
මහණෙනි, කල්‍යාණප්‍රඥා ඇත්තේ කෙබඳු වේ ද? මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මේ අත්බව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කල්‍යාණප්‍රඥා ඇත්තේ වේ. මෙපරිද්දෙන් කල්‍යාණශීලය ඇත්තේ, කල්‍යාණධර්‍ම ඇත්තේ, කල්‍යාණප්‍රඥා ඇත්තේ මේ ශාසනයෙහි වැස නිම වූ බඹසර ඇති, රහත් වූ උත්තම පුරුෂයා යැ යි කියනු ලැබේ.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් මහණකුට කයින් හෝ වචසින් හෝ මනසින් වන දුශ්චරිතයෙක් (අකුශලයෙක්) නැත්තේ ද, හිරිසම්පන්න (පවෙහි ලජ්ජා ඇති) ඒ මහණ ඒකාන්තයෙන් කලණ සිල් ඇත්තේ ය යි කියත්.
3. යම් මහණෙකු විසින් ආර්‍ය්‍යමාර්‍ගඥානයට පමුණුවන සත් (බෝපැකි) දහම්හු වඩන ලද්දාහු ද, රාගාදි උස්සද රහිත වූ ඒ මහණ කල්‍යාණධර්‍ම ඇත්තෙකැ යි කියත්.
4. යම් මහණෙක් මේ අත්බව්හි ම තමාගේ දුඃඛක්‍ෂයය මැනැවින් දනී ද, ආස්‍රවරහිත වූ ඒ මහණ කල්‍යාණප්‍රඥා ඇත්තෙකැ යි කියත්.