3. 5. 6.
[කාමෝපපත්ති සූත්රය]
95. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, කාමලාභයෝ (නොහොත්) කාමසේවනයෝ මේ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: නිබද්ධකාම ලාභය ද, නිම්මානරති කාම ලාභය ද, පරනිම්මිතවසවත්ති කාමලාභය ද යන තිදෙන වෙති.
භාග්යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පරනිම්මිත වසවත්ති නම් වූ යම් දෙවි කෙනෙක් වෙත් ද, නිම්මානරතී නම් වූ දෙවි කෙනෙක් වෙත් ද, නිබද්ධකාමලාභී වූ සෙසු කාමභොගීහු වෙත් ද,
3. (ඔහු) මේ අත්බව හා උත්පත්තිභව සඞ්ඛ්යාත මතු අතින් අත්බව ද යන දෙවැදෑරුම් සසර නො ඉක්මෙත්. නුවණැති පුද්ගල තෙමේ මෙම ආදීනවය දැන කාමභෝග විෂයයෙහි දිව්යමය වූ ද මානුෂක වූ ද යම් කාමයෝ වෙත් නම්, ඒ සියලු කාමයන් දුරු කරන්නේ ය.
4. (යම් ආර්ය්ය කෙනෙක්) ප්රියරූප සුඛාදියෙහි ගිජු වූ, ඉක්මීමට දුෂ්කර වූ තෘෂ්ණා ස්රොතස (රහත්මග නුවණින්) සිඳ දමා නිරවශේෂ ව පිරිනිවෙත් ද, නිරවශේෂ කොට (සසරදුක්) ඉක්මෙත් ද,
5. නිර්වාණය දුටුවාවූ, වේද සංඛ්යාත මාර්ගඥානයෙන් (සසර කෙළවරට) ගියා වූ නුවණැති ඔහු (ස්කන්ධාදිය) මොනොවට දැන, නිර්වාණාවබෝධය කොට නැවැත ඉපදීමට නො පැමිණෙත්.”
භාග්යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 7.
[කාමයෝග සූත්රය]
96. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, පඤ්චකාමගුණික රාග සඞ්ඛ්යාත කාමයොගයෙන් යුක්ත වූ ද, රූපාරූපභවයන්හි ඡන්දරාගසඞ්ඛ්යාත භවයොගයෙන් යුක්ත වූ ද පුද්ගල තෙමේ මේ මිනිසත් බවට (පිළිසිඳ ගැණීම් වශයෙන්) එන්නේ අගාමී වෙයි.
මහණෙනි, කාමයොගයෙන් වෙන් වූ භවයොගයෙන් යුක්ත වූ ද පුද්ගල තෙමේ මේ මිනිසත් බවට නොඑන්නේ අනාගාමී වෙයි.
මහණෙනි, කාමයොගයෙන් වෙන් වූ ද, භවයොගයෙන් වෙන් වූ ද පුද්ගල තෙමේ රහත් වූ ක්ෂීණාස්රවයෙක් වෙයි.
භාග්යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “කාමයොගයෙන් ද භවයොගයෙන් ද යන දෙපරිද්දෙන් ම යුක්ත වූ සත්ත්වයෝ ජාතිමරණගාමීහු වූවෝ සසර සරත්.
3. යම් කෙනෙක් කාමයන් පහ කොට, ආස්රවක්ෂයට නොපැමිණ භවයොගයෙන් යුක්ත වූවාහු ද (ඔහු) අනාගාමීහු යි කියනු ලැබෙත්.
4. යම් කෙනෙක් මුලුසුන් කරණ ලද සැක ඇත්තාහු ක්ෂය කරණ ලද (නවවිධ) මානය හා පුනර්භවය ඇත්තාහු ද, යමෙකුත් ආස්රවක්ෂයට පැමිණියාහු ද, (ඔහු) ඒකාන්තයෙන් ලොව්හි පරතෙරට ගියෝ නම් වෙත්.”
භාග්යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
තුන්වන බණවරයි.