3. 4. 9.
[අන්තරාමල සූත්රය]
88. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සිතෙහි හටගත් මලයෝ (කෙලෙස්) වූ සිතෙහි උපන් අමිත්රයෝ වූ සිතෙහි හටගත් සතුරෝ වූ සිතෙහි හටගත් වධකයෝ වූ සිතෙහි උපන් පසමිතුරෝ වූ මේ ධර්මයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, ලෝභය තෙම සිතෙහි හටගත් මලයෙකි. (කිලුටෙකි). සිතෙහි උපන් අමිත්රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි. මහණෙනි, ද්වේෂය තෙම සිතෙහි හටගත් කිලුටෙකි. සිතෙහි උපන් අමිත්රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි. මහණෙනි, මෝහය තෙම සිතෙහි හටගත් කිලුටෙකි. සිතෙහි උපන් අමිත්රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි.
මහණෙනි, මේ තිදෙනා සිතෙහි හටගත් මලයෝ, සිතෙහි උපන් අමිත්රයෝ, සිතෙහි උපන් සතුරෝ, සිතෙහි උපන් වධකයෝ, සිතෙහි උපන් පසමිතුරෝ වෙත්.
භාග්යවතුන් වහන්සේ මේ කරුණ වදාළ සේක. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ලෝභය තෙම අවැඩ ඇති කරන්නේ ය. ලෝභය තෙම සිත ප්රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ ලෝභය තෙම බියට හේතු යැයි අන්ධබාල ජන තෙමේ නො දනී.
3. ලෝභයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්ත්ථපරාර්ත්ථාදි) අර්ත්ථය නො දනී. ලුබ්ධ පුද්ගල තෙමේ (දශකුශලකර්මපථ) ධර්මය නො දනී. යම් කලෙක ලෝභය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්ධකාරය වෙයි.
4. යමෙක් තෙමේ ලෝභය නසා ලෝභයට කරුණු වන දැයෙහි ලෝභ නො කෙරේ ද, පොකුරුපතින් ජල බින්දුව මෙන් ඒ (ආර්ය්ය) පුද්ගලයා කෙරෙන් ලෝභය (ආර්ය්යමාර්ගයෙන්) ප්රහීණ වෙයි.
5. ද්වේෂය තෙම අවැඩ ඇති කරන්නේ ය. ද්වේෂය තෙම සිත ප්රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ ද්වේෂය තෙම බියට හේතු යැයි අන්ධබාල ජන තෙමේ නො දනී.
6. ද්වේෂයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්ත්ථපරාර්ත්ථාදි) අර්ත්ථය නො දනී. ද්විෂ්ට පුද්ගල තෙමේ (දශකුශලකර්මපථ) ධර්මය නො දනී. යම් කලෙක ද්වේෂය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්ධකාරය වෙයි.
7. යමෙක් ද්වේෂය නසා ද්වේෂයට කරුණු වන දැයෙහි ද්වේෂ නො කෙරේ ද, තල්ගෙඩිය නටුවෙන් (ගිලිහෙන්නාක්) මෙන් ඒ පුද්ගලයා කෙරෙන් ද්වේෂය (තෘතීයමාර්ගඥානය ඉපදීමෙන්) ප්රහීණ වෙයි.
8. මෝහය තෙම අවැඩ ඇති කරන්නේ ය. මෝහය තෙම සිත ප්රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ මෝහය තෙම බියට හේතු යැ යි අන්ධබාල ජන තෙමේ නො දනී.
9. මෝහයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්ත්ථපරාර්ත්ථාදි) අර්ත්ථය නො දනී. මුළාවූ පුද්ගල තෙමේ (දශකුශලකර්මපථ) ධර්මය නො දනී. යම් කලෙක මෝහය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්ධකාරය වෙයි.
10. යමෙක් මෝහය නසා මුළා විය යුතු දැයෙහි මුළා නො වේ ද, ඒ පුද්ගල තෙමේ උඩට නැගෙන්නාවූ (පායන්නාවූ) හිරු අඳුර (නසන්නාක්) මෙන් සියලු මෝහය චතුර්ත්ථමාර්ගයෙන් නසයි.”
භාග්යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 4. 10.
[දේවදත්ත සූත්රය]
89. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, අසත්පුරුෂ ධර්ම තුණෙකික් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නොකළ හැක්කේ වෙයි. කවර තුණෙකින් ද යත්: