3. 4. 10.
[දේවදත්ත සූත්‍රය]
89. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, අසත්පුරුෂ ධර්‍ම තුණෙකික් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නොකළ හැක්කේ වෙයි. කවර තුණෙකින් ද යත්:
මහණෙනි, ලාමක ඊප්සාවෙන් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳ ගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නො කළ හැක්කේ වෙයි: මහණෙනි, පාපමිත්‍රභාවයෙන් මඩනා ලද්දාවූ හාත්පසින් වැළද ගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නොකළ හැක්කේ වෙයි. මහණෙනි, ධ්‍යානාභිඥාවන්ගෙන් මත්තෙහි කළ යුතු මාර්‍ගඵලාධිගමයන් ඇති කල්හිත් ස්වල්පමාත්‍ර වූ උතුරුමිනිස් දහම් ලැබීමෙන් අතරතුර (නොකළ කිස ඇතියේ ම) කළ කිස ඇතියෙමි යි හඟනේ හේ නිශ්චයට පැමිණියේ ය.
මහණෙනි, මේ අසත්පුරුෂ ධර්‍මතුණෙන් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳ ගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නො කළ හැක්කේ වෙයි.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් ඒකාන්තයෙන් ලාමක ආශා ඇත්තේ නොවේවා. පාපේච්ඡපුද්ගලයන්ගේ යම් බඳු ගතියෙක් වේ ද, එය මේ (දේවදත්තයා පිළිබඳ) කාරණයෙන් ද දනිවු.
3. දේවදත්ත යැ යි ප්‍රකට පුද්ගල තෙමේ පණ්ඩිත යැ යි ප්‍රසිද්ධ වූයේ ධ්‍යානාභිඥාවන්ගෙන් වඩන ලද සිත් ඇත්තේ යැ යි සම්භාවනා කරණ ලද්දේ කීර්තියෙන් දිලියෙමින් මෙන් සිටියේ ය.
4. හෙ තෙම (මම් මහණ ගොයුම් හා සමයෙමියි සිතමින්) තමා ප්‍රමාණ කෙළේ ඒ තථාගතයන් වහන්සේ වෙහෙසා දොරටු සතරක් ඇත්තා වූ භයජනක වූ අවීචිමහානරකයට පැමිණියේ ය.
5. යමෙක් වනාහි පව් නොකරන්නා වූ අදූෂිත සිත් ඇත්තහුට ද්‍රෝහ කරන්නේ වේ ද, ඒ පාපකර්‍මය තෙම සිත් ඇති ආදර රහිත වූ ඒ පුද්ගලයා ම ස්පර්‍ශ කරයි. (ඔහු කරා ම විපාක වශයෙන් පැමිණෙයි)
6. යමෙක් තෙමේ විෂ කළයකින් මහමුහුද දූෂණය කරන්නට සිතන්නේ ද, හෙ තෙම එයින් (මුහුද) දූෂණය නොකරන්නේ ය. යම් හෙයකින් මුහුද විශාල ද එහෙයිනි.
7. එ පරිද්දෙන් ම යමෙක් තෙම ශාන්ත සිත් ඇති තථාගතයන් වහන්සේට දොස් නැඟීමෙන් වෙහෙසන්නට තැත් කරන්නේ ද, ඔහු නඟන දෝෂය උන්වහන්සේ කෙරෙහි නො නැඟෙයි.
8. යම් කෙනෙකුන් වහන්සේගේ ප්‍රතිපත්තිමාර්‍ගය අනුව ගියාවූ මහණ තෙම සංසාරදුඃඛයාගේ ක්‍ෂයට පැමිණෙන්නේ ද, නුවණැත්තේ එබඳු තැනැත්තකු තම මිතුරා කැරැ ගන්නේ ය. එබඳු තැනැත්තකු ම සේවනය කරන්නේ ය.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
සිවු වන වගයි.
එහි උද්දානය:
විතක්ක, සක්කාර, දේවසද්ද, දෙවාවචන, (පුබ්බනිමිත්ත), තථාගතලෝකුප්පත්ති (බහුජනහිත), අසුභානුපස්සී, ධම්මානුධම්මපටිපන්න, අන්‍ධකරණ, මල, දේවදත්ත සූත්‍රය යි ඔහු දසදෙනෙකි.