3. 4. 8.
[අන්‍ධකරණ සූත්‍රය]
87. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, (යථාභූත දර්‍ශනය වැළැක්වීමෙන්) අන්‍ධයකු කරන්නාවූ නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ මේ අකුශල විතර්‍කයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, අන්‍ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ කාමප්‍රතිසංයුක්ත විතර්‍කය; මහණෙනි, අන්‍ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ ව්‍යාපාදප්‍රතිසංයුක්ත විතර්‍කය; අන්‍ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ විහිංසාප්‍රතිසංයුක්ත විතර්‍කය යන මේ තිදෙනා ය.
මහණෙනි, මේ අන්‍ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නා වූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ මේ තුන් අකුශල විතර්‍කයෝ වෙති.
මහණෙනි, මේ අන්‍ධයකු නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ මේ කුශලවිතර්‍කයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, අන්‍ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ, නෙක්ඛම්මපටිසංයුක්ත විතර්‍කය; අන්‍ධ නොකරන්නා වූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ අව්‍යාපාද විතර්‍කය; අන්‍ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නා වූ, සුඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ අවිහිංසා විතර්‍කය යන මේ තිදෙනා ය.
මහණෙනි, මේ අන්‍ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ මේ තුන් කුශල විතර්‍කයෝ වෙත්.
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ත්‍රිවිධ කුශල විතර්‍කයන් මෙනෙහි කරන්නේ ය. ත්‍රිවිධ අකුශල විතර්‍කයන් බැහැර කරන්නේ ය. වැසි දිය පොළොවෙහි හාත්පසින් නැගුනාවූ දුවිල්ල සංසිඳුවන්නා සේ ඒ යෝගාවචර තෙමේ ඒකාන්තයෙන් මිථ්‍යාවිතර්‍කයන් ද ඒ හා යෙදුනු විචාරයන් ද සංසිඳුවයි. හෙ තෙම විතර්‍කයන් සංසිඳුවන්නාවූ ආර්‍ය්‍යමාර්‍ග චිත්තයෙන් ඉහාත්මයෙහි ම නිවණට මැනැවින් පැමිණියේ වෙයි.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 4. 9.
[අන්තරාමල සූත්‍රය]
88. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සිතෙහි හටගත් මලයෝ (කෙලෙස්) වූ සිතෙහි උපන් අමිත්‍රයෝ වූ සිතෙහි හටගත් සතුරෝ වූ සිතෙහි හටගත් වධකයෝ වූ සිතෙහි උපන් පසමිතුරෝ වූ මේ ධර්‍මයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, ලෝභය තෙම සිතෙහි හටගත් මලයෙකි. (කිලුටෙකි). සිතෙහි උපන් අමිත්‍රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි. මහණෙනි, ද්වේෂය තෙම සිතෙහි හටගත් කිලුටෙකි. සිතෙහි උපන් අමිත්‍රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි. මහණෙනි, මෝහය තෙම සිතෙහි හටගත් කිලුටෙකි. සිතෙහි උපන් අමිත්‍රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි.
මහණෙනි, මේ තිදෙනා සිතෙහි හටගත් මලයෝ, සිතෙහි උපන් අමිත්‍රයෝ, සිතෙහි උපන් සතුරෝ, සිතෙහි උපන් වධකයෝ, සිතෙහි උපන් පසමිතුරෝ වෙත්.
භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ලෝභය තෙම අවැඩ ඇති කරන්නේ ය. ලෝභය තෙම සිත ප්‍රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ ලෝභය තෙම බියට හේතු යැයි අන්‍ධබාල ජන තෙමේ නො දනී.
3. ලෝභයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්‍ත්‍ථපරාර්‍ත්‍ථාදි) අර්‍ත්‍ථය නො දනී. ලුබ්ධ පුද්ගල තෙමේ (දශකුශලකර්‍මපථ) ධර්‍මය නො දනී. යම් කලෙක ලෝභය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්‍ධකාරය වෙයි.