3. 4. 7.
[ධර්මානුධර්මප්රතිපන්න සූත්රය]
86. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. ධර්මානුධර්මප්රතිපන්න (නව ලොවුතුරා දහම් ලබනු සඳහා පූර්වභාග ප්රතිපත්තිධර්මය පිළිපන්) මහණහට මේ තෙමේ ධර්මානුධර්මප්රතිපන්නයැ යි කියනුවට මේ යෝග්ය වූ ස්වභාවයෙක් වෙයි. හෙ තෙම කියනුයේ දශ කථාවස්තුධර්මය ම කියයි. (මහිච්ඡතාදිය වඩා ලන) අධර්ම කථාවක් නො කියයි. කල්පනා කරණුයේ ද (නෙක්ඛම්මවිතක්කාදි) ධර්මවිතර්කයක් ම කල්පනා කෙරෙයි. (කාමවිතර්කාදි) අධර්මවිතර්කයක් කල්පනා නො කෙරෙයි. ඒ දෙක ම හැර එහි උපේක්ෂක වැ වෙසේ නම්, (කමටහන් වඩනුයේ) සිහි ඇති වැ නුවණ ඇති ව වෙසෙයි.
මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ධර්මය ආරාම කොට ඇති (ශමථවිදර්ශනා වැඩීමෙහි ලැගුනු) ධර්මයෙහි ඇලුනු, ඒ ධර්මය ම පුනපුනා සිතන, එය මතුමත්තෙහිත් වැඩීම් විසින් අනුස්මරණය කරණ මහණ තෙමේ (සත්තිස් බෝපැකිදහම් ද නවලොවුතුරා දහම් ද යන) සදහම් කෙරෙන් නො පිරිහේ.
3. ඒ මහණ තෙම යන්නේ හෝ සිටිනුයේ හෝ හුන්නේ හෝ නැතහොත් වැදැ හෝනේ හෝ ආධ්යාත්මයෙහි (හෙවත් ආධ්යාත්මාලම්බනයෙහි) කෙලෙස් සංසිඳුවීම් විසින් සිත සංසිඳුවනුයේ අත්යන්තශාන්තිය ම (නිවණ ම) ලබයි.”
මේ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
3. 4. 8.
[අන්ධකරණ සූත්රය]
87. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, (යථාභූත දර්ශනය වැළැක්වීමෙන්) අන්ධයකු කරන්නාවූ නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්රිවිධප්රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ මේ අකුශල විතර්කයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, අන්ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්රිවිධ ප්රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ කාමප්රතිසංයුක්ත විතර්කය; මහණෙනි, අන්ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්රිවිධ ප්රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ ව්යාපාදප්රතිසංයුක්ත විතර්කය; අන්ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්රිවිධ ප්රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ විහිංසාප්රතිසංයුක්ත විතර්කය යන මේ තිදෙනා ය.
මහණෙනි, මේ අන්ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නා වූ, අඥානයකු කරන්නාවූ, ත්රිවිධප්රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ මේ තුන් අකුශල විතර්කයෝ වෙති.
මහණෙනි, මේ අන්ධයකු නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්රිවිධප්රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ මේ කුශලවිතර්කයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, අන්ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්රිවිධප්රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ, නෙක්ඛම්මපටිසංයුක්ත විතර්කය; අන්ධ නොකරන්නා වූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්රිවිධප්රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ අව්යාපාද විතර්කය; අන්ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ ත්රිවිධප්රඥාවන්ගේ වැඩීම කරන්නා වූ, සුඛපක්ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ අවිහිංසා විතර්කය යන මේ තිදෙනා ය.
මහණෙනි, මේ අන්ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්රිවිධ ප්රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ මේ තුන් කුශල විතර්කයෝ වෙත්.