3. 4. 6.
[අශුභානුදර්ශි සූත්‍රය]
85. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, කයෙහි අශුභාකාරය අනුව දක්නෝ ව වසවු. ආනාපානසතිය ද තොපගේ ගෝචරාධ්‍යාත්මයට අභිමුඛ කොට මොනොවට එළැඹ සිටියේ වේවා. සියලු සංස්කාරයන්හි අනිස්ලකුණ අනුව දක්නා සුලු වැ වසවු. මහණෙනි, කයෙහි අශුභය අනුව දක්නා සුලු වැ වසන්නහුට ශුභ අරමුණෙහි යම් කාමරාගානුශයයෙක් වේ නම් එය ප්‍රහීණ වෙයි. ගෝචරාධ්‍යාත්මයට අභිමුඛ ව (ආධ්‍යාත්ම අරමුණට යොමු වැ) ආනාපානසතිය මොනොවට එළැඹැ සිටි කල්හි දුඃඛපක්‍ෂයෙහි වූ යම් බාහිර විතර්‍කාශය (අප්‍රහීණ වූ ආශයානුගත වූ කාමවිතර්‍කාදි) කෙනෙක් වෙත් නම්, ඔහු නො වෙත්. සියලු සංස්කාරයන්හි අනිස් ලකුණ අනුව දක්නා සුලු ව වසන්නවුන්හට යම් අවිද්‍යාවෙක් වේ ද, එය පහ වෙයි. යම් විද්‍යාවෙක් (රහත්මඟනුවණෙක්) වේ ද, එය උපදී.
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “කයෙහි අශුභය අනුව දක්නා සුලු වූ, ආනාපානනිමිත්තෙහි එළැඹැ සිටි සිහි ඇති, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම (නිවණ) දක්නා, හැම කල්හි අසුභානුපස්සනාදීන්හි යුක්තප්‍රයුක්ත (වෑයම් කරන්නා) වූ,
3. දුක් ඈ විසින් දහමුත් ඇති සැටියෙන් දක්නා ඒ මහණ තෙම ඒකාන්තයෙන් ඒ නිවන් අරමුණෙහි රහත්පල විමුක්තියෙන් ඒකාන්තයෙන් මිදෙයි. (ආස්‍රවක්‍ෂයකරඥාන සඞ්ඛ්‍යාත) අභිඥායෙන් අවසන් කළ (සත්‍යප්‍රතිවේධය සම්බන්‍ධ) කෘත්‍ය ඇති, ඒ මුනි තෙමේ ඒකාන්තයෙන් (කාමයොගාදි සියලු) යෝගයන් ඉක්මවූයේ වේ.”
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
3. 4. 7.
[ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සූත්‍රය]
86. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. ධර්‍මානුධර්‍මප්‍රතිපන්න (නව ලොවුතුරා දහම් ලබනු සඳහා පූර්‍වභාග ප්‍රතිපත්තිධර්‍මය පිළිපන්) මහණහට මේ තෙමේ ධර්‍මානුධර්‍මප්‍රතිපන්නයැ යි කියනුවට මේ යෝග්‍ය වූ ස්වභාවයෙක් වෙයි. හෙ තෙම කියනුයේ දශ කථාවස්තුධර්‍මය ම කියයි. (මහිච්ඡතාදිය වඩා ලන) අධර්‍ම කථාවක් නො කියයි. කල්පනා කරණුයේ ද (නෙක්ඛම්මවිතක්කාදි) ධර්‍මවිතර්‍කයක් ම කල්පනා කෙරෙයි. (කාමවිතර්‍කාදි) අධර්‍මවිතර්‍කයක් කල්පනා නො කෙරෙයි. ඒ දෙක ම හැර එහි උපේක්‍ෂක වැ වෙසේ නම්, (කමටහන් වඩනුයේ) සිහි ඇති වැ නුවණ ඇති ව වෙසෙයි.
මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ධර්‍මය ආරාම කොට ඇති (ශමථවිදර්‍ශනා වැඩීමෙහි ලැගුනු) ධර්‍මයෙහි ඇලුනු, ඒ ධර්‍මය ම පුනපුනා සිතන, එය මතුමත්තෙහිත් වැඩීම් විසින් අනුස්මරණය කරණ මහණ තෙමේ (සත්තිස් බෝපැකිදහම් ද නවලොවුතුරා දහම් ද යන) සදහම් කෙරෙන් නො පිරිහේ.
3. ඒ මහණ තෙම යන්නේ හෝ සිටිනුයේ හෝ හුන්නේ හෝ නැතහොත් වැදැ හෝනේ හෝ ආධ්‍යාත්මයෙහි (හෙවත් ආධ්‍යාත්මාලම්බනයෙහි) කෙලෙස් සංසිඳුවීම් විසින් සිත සංසිඳුවනුයේ අත්‍යන්තශාන්තිය ම (නිවණ ම) ලබයි.”
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.