3. 4. 5.
[බහුජනහිත සූත්‍රය]
84. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනෙක් ලොවැ උපදනාහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදිත්. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ (අෂ්ට) විද්‍යා (පසළොස්) චරණධර්‍මයන්ගෙන් යුක්ත වූ (සුන්‍දරස්ථානයට පැමිණි හෙයින්) සුගත වූ ලෝකයන් දන්නා සුලු වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුන්ගේ ශාස්තෘ වූ චතුස්සත්‍යාවබෝධය කළා වූ භාග්‍යවත් වූ තථාගත තෙමේ මේ ලෝකයෙහි උපදී. උන්වහන්සේ මුල යහපත් කොට මැද යහපත් කොට අග යහපත් කොට අර්‍ත්‍ථයෙන් යුක්ත කොට ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු වූ ධර්‍මයක් දේශනා කරණ සේක. මහණෙනි, මේ පළමුවන පුද්ගල තෙමේ ලොවැ උපදිනුයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.
තව ද, මහණෙනි, ඒ ශාස්තෲන් වහන්සේගේ ම ශ්‍රාවක තෙමේ ක්‍ෂය කරණලද ආස්‍රව ඇත්තේ, වැස නිමවූ මගබඹසර ඇත්තේ, කොට නිමවන ලද සිවුමග කිස ඇත්තේ, බහා තබනලද කෙලෙස්බර ඇත්තේ, පැමිණි අර්‍හත්‍වය ඇත්තේ, ප්‍රහීණ වූ භවසංයෝජන ඇත්තේ, මනා කොට විශිෂ්ටඥානයෙන් දැන මිදුනේ රහත් වේ ද, හෙ තෙමේ ද මුල යහපත් කොට මැද යහපත් කොට අග යහපත් කොට අර්‍ත්‍ථයෙන් යුක්ත කොට ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු වූ ධර්‍මයක් දේශනා කරණ සේක. මහණෙනි, මේ දෙවෙනි පුද්ගල තෙමේ ලොවැ උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.
තව ද මහණෙනි, ඒ ශාස්තෲන් වහන්සේගේ ම ශ්‍රාවක තෙමේ ශෛක්‍ෂප්‍රතිපත්ති ඇත්තේ බහුශ්‍රුත වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරාදි ශීලයෙන් හා ආරඤ්ඤිකාදි ධූතාඞ්ගයන්ගෙන් යුක්ත වූයේ ශෛක්‍ෂ පුද්ගලයෙක් වේ ද, හෙ තෙමේත් මුල යහපත් කොට මැද යහපත් කොට අග යහපත් කොට අර්‍ත්‍ථයෙන් යුක්ත කොට ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු වූ ධර්‍මයක් දේශනා කරයි. මහණෙනි, මේ තෙවෙනි පුද්ගල තෙමේ ලොවැ උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ලෝකයෙහි මහර්ෂි වූ ශාස්තෲන් වහන්සේ (ප්‍රථම පුද්ගලයා යි) උන්වහන්සේගේ අනුජාත වූ වඩනා ලද ශීල සමාධි ප්‍රඥා ඇති ශ්‍රාවකයා රහත් පුගුලා (දෙවෙනි පුද්ගලයා) යි. නැවත අන්‍ය වු නොනිමි පිළිවෙත් කිස ඇති බහුශ්‍රුත වූ ශීලයෙන් හා ධූතාඞ්ගයන්ගෙන් යුක්ත වූ ශෛක්‍ෂපුද්ගල තෙමේ (තෙවැන්නා) යි.
3. මේ තිදෙනා දෙවිමිනිසුන් අතරැ ශ්‍රේෂ්ඨයහ. ධර්‍මලෝකය කරණ හෙයින් ප්‍රභාකරයහ. සිවුසස් දම් දෙසන හෙයින් ධර්‍මදේශකයහ. ඔවුහු නිවන්දොර (ආර්‍ය්‍යමාර්‍ගය) විවෘත කරත්. කාමාදි චතුර්යෝගයෙන් බොහෝ ජනයා මුදත්.
4. යම් කෙනෙක් තුමූ නිරුත්තර වූ සාර්‍ත්‍ථවාහකයාණන් (බුදුරදුන්) විසින් මොනොවට දෙසන ලද ආර්‍ය්‍යමාර්‍ගය අනුව යෙත් ද, යම් කෙනෙක් තුමූ බුදුසසුන්හි අප්‍රමාද වූවාහු ද (ඔවුහු) මේ අත්බව්හි ම දුක් කෙළවර කරත්.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 4. 6.
[අශුභානුදර්ශි සූත්‍රය]
85. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, කයෙහි අශුභාකාරය අනුව දක්නෝ ව වසවු. ආනාපානසතිය ද තොපගේ ගෝචරාධ්‍යාත්මයට අභිමුඛ කොට මොනොවට එළැඹ සිටියේ වේවා. සියලු සංස්කාරයන්හි අනිස්ලකුණ අනුව දක්නා සුලු වැ වසවු. මහණෙනි, කයෙහි අශුභය අනුව දක්නා සුලු වැ වසන්නහුට ශුභ අරමුණෙහි යම් කාමරාගානුශයයෙක් වේ නම් එය ප්‍රහීණ වෙයි. ගෝචරාධ්‍යාත්මයට අභිමුඛ ව (ආධ්‍යාත්ම අරමුණට යොමු වැ) ආනාපානසතිය මොනොවට එළැඹැ සිටි කල්හි දුඃඛපක්‍ෂයෙහි වූ යම් බාහිර විතර්‍කාශය (අප්‍රහීණ වූ ආශයානුගත වූ කාමවිතර්‍කාදි) කෙනෙක් වෙත් නම්, ඔහු නො වෙත්. සියලු සංස්කාරයන්හි අනිස් ලකුණ අනුව දක්නා සුලු ව වසන්නවුන්හට යම් අවිද්‍යාවෙක් වේ ද, එය පහ වෙයි. යම් විද්‍යාවෙක් (රහත්මඟනුවණෙක්) වේ ද, එය උපදී.
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “කයෙහි අශුභය අනුව දක්නා සුලු වූ, ආනාපානනිමිත්තෙහි එළැඹැ සිටි සිහි ඇති, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම (නිවණ) දක්නා, හැම කල්හි අසුභානුපස්සනාදීන්හි යුක්තප්‍රයුක්ත (වෑයම් කරන්නා) වූ,