3. 4. 3.
[දේවශබ්ද සූත්රය]
82. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, දෙවියන් අතරැ මේ දිව්යශබ්දයෝ තිදෙනෙක් කලින් කල ඔවුනොවුන්ගේ කථාසංලාප වශයෙන් පවතිත්. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, යම් කලෙක ආර්ය්ය ශ්රාවක තෙම කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ පෙරව ගිහිගෙන් නික්මැ සසුන් වදනා පිණිස සිතා ද, එකලැ “මේ ආර්ය්යශ්රාවක තෙම මරහු සමග යුද පිණිස සිතා යැ”යි දෙවියන් අතරැ දිව්යශබ්දයෙක් පවතියි. මහණෙනි, කලින් කල දෙවියන් අතරැ මේ පළමු වන දිව්යමය ප්රීතිරාවය පවතී.
තවද මහණෙනි, යම් කලෙක ආර්ය්යශ්රාවක තෙම (කොටස් වශයෙන්) සතක් වූ බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳ භාවනායෙහි යෙදුනේ වාසය කෙරේ ද, මහණෙනි, එ කලැ “මේ ආර්ය්යශ්රාවක තෙම මරහු හා යුද කෙරේ යැ”යි දෙවියන් අතරැ දිව්යමය ප්රීතිශබ්දයෙක් පවතී. මහණෙනි, කලින් කලැ දෙවියන් අතරැ මේ දෙවෙනි දිව්යශබ්දය පවතී.
තවද මහණෙනි, යම් කලෙක ආර්ය්යශ්රාවක තෙම ආස්රවයන්ගේ ක්ෂයයෙන් ආස්රව රහිත වු අර්හත්ත්වඵලසමාධිය හා ඵලප්රඥාව ද ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කෙරේ ද, මහණෙනි, එකලැ “මේ ආර්ය්යශ්රාවක තෙමේ දිනූ යුද ඇත්තේ එ ම සංග්රාමශීර්ෂය දිනා වෙසේ යැ”යි දෙවියන් අතර දිව්යමය ශබ්දයෙක් පවතියි. මහණෙනි, කලින් කලැ දෙවියන් අතරැ මේ තෙවෙනි දිව්යශබ්දය පවතී.
මහණෙනි, කලින් කලැ දෙවියන් අතරැ මේ දිව්යශබ්දයෝ තිදෙන පවත්නාහ.
භාග්යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “දිනන ලද සංග්රාම ඇති ශීලාදි ගුණමහත්ත්වයෙන් මහත් වූ, පහ වූ බිය ඇති සම්යක්සම්බුද්ධශ්රාවකයා දැක දෙවියෝ ද මෙසේ නමස්කාර කෙරෙත්.
3. යම් බඳු නුබ වහන්සේ අන්යයන් විසින් වළකා ලිය නොහැක්කා වු මරසෙනඟ ආර්ය්යමාර්ගයෙන් දිනා, දිනීමට දුෂ්කර වූ මරසෙනග මැඩලූ සේක් ද, පුරුෂශ්රේෂ්ඨයන් වහන්ස, ඒ නුබ වහන්සේට නමස්කාර වේවා.
4. උක්තප්රකාරයෙන් පැමිණි අර්හත්ත්වය ඇති මේ ක්ෂීණාස්රවයාට දේවතාවෝ නමස්කාර කෙරෙත්. යම් හෙයෙකින් හෙතෙම මරහු වසයට පැමිණිය හෙන්නේ ද, ඒ පුරුෂෝත්තමයා පිළිබඳ එබඳු කාරණයක් දෙවියෝ නො දනිත්.”
භාග්යවතුන් වහන්සේ විසින්මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 4. 4.
[පූර්වනිමිත්ත සූත්රය]
83. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් කලෙක දෙවියෙක් දෙව්ලොවින් චුතවන ස්වභාව ඇත්තේ (එළැඹ සිටි මරණය ඇත්තේ) වේ ද, ඔහුට පෙරනිමිති පසෙක් පහළ වෙයි. එනම්: පැළැඳි මල් මැලැවෙයි. හැඳි වත් කිලිටි වෙයි. කිසිලි වලින් දහඩිය වැගිරෙයි. සිරුරෙහි දුර්වර්ණ බව ඇති වෙයි. ඒ දෙවි තෙම ස්වකීය දිව්යාසනයෙහි නො ඇලෙයි. (යන මේ පස යි.)