3. 4. 2.
[සත්කාර සූත්රය]
81. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සත්කාර හේතුවෙන් මඩනා ලද, ක්ෂයට පැමිණැ වූ කුසල් සිත් ඇති, ශරීර භේදයෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයෙහි උපන්නාවූ සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, අසත්කාර හේතුවෙන් මඩනා ලද, ක්ෂයට පැමිණැවූ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, සත්කාර හේතුවෙන් ද අසත්කාර හේතුවෙන් ද යන ඒ දෙකින් ම මඩනා ලද ක්ෂේපිත කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ.
මහණෙනි, ඒ කාරණය වූ කලී මම් අන් ශ්රමණයකු හෝ බ්රාහ්මණයකු හෝ අතින් අසා නො කියමි. වැළි මා විසින් යමක් ස්වයංඥාත ද (තමා විසින් දක්නා ලද ද) ස්වයංදෘෂ්ටද (තමා විසින් දක්නා ලද ද) ස්වයං විදිත ද (තමා විසින් ප්රකට කොට දන්නා ලද ද) එය ම මම් කියමි:
‘මහණෙනි, සත්කාර හේතුවෙන් මඩනා ල, ක්ෂයයට පැමිණැ වූ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති, විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, අසත්කාර හේතුවෙන් මඩනා ලද, ක්ෂේපිත කුසල් සිතැති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ, නපුරු ගති ඇති, විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, සත්කාර හේතුවෙන් ද අසත්කාර හේතුවෙන් ද යන එ දෙකින් ම මඩනා ලද, ක්ෂේපිත කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ, නපුරු ගති ඇති, විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ’ යනු යි.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සත්කාර කරණු ලබන්නාවූ ද, අසත්කාරයෙන් නොතකා හරිනු ලබන්නා වූ ද අප්රමාද විහරණ ඇති යම් රහතකුගේ චිත්ත සමාධිය ඒ සත්කාර අසත්කාර දෙකින් ම නොසැලේ ද,
3. ධ්යාන කරණ සුලුවූ, සතතයෙන් පැවැති වීර්ය්ය ඇති, පලසමවත්හි සියුම් ප්රඥාවෙන් නිතර පැවැති විදසුන් ඇති, චතුරූපාදානයන්ගේ ක්ෂයය (අවසානය) වූ රහත්පලය ආරාම කොටැති උන්වහන්සේ සත්පුරුෂයා යැ යි කියත්.”
භාග්යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් මෙසේ අසන ලදී.
3. 4. 3.
[දේවශබ්ද සූත්රය]
82. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, දෙවියන් අතරැ මේ දිව්යශබ්දයෝ තිදෙනෙක් කලින් කල ඔවුනොවුන්ගේ කථාසංලාප වශයෙන් පවතිත්. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, යම් කලෙක ආර්ය්ය ශ්රාවක තෙම කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ පෙරව ගිහිගෙන් නික්මැ සසුන් වදනා පිණිස සිතා ද, එකලැ “මේ ආර්ය්යශ්රාවක තෙම මරහු සමග යුද පිණිස සිතා යැ”යි දෙවියන් අතරැ දිව්යශබ්දයෙක් පවතියි. මහණෙනි, කලින් කල දෙවියන් අතරැ මේ පළමු වන දිව්යමය ප්රීතිරාවය පවතී.