3. 2. 6.
[සුචරිත සූත්රය]
65. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ සුචරිතයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායසුචරිතය, වාග්සුචරිතය, මනස්සුචරිතය යි. මහණෙනි, මේ සුචරිතයෝ තිදෙන වෙත්.
භාග්යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන් ද) මෙසේ කියනු ලැබේ:
2. “ඒ සප්රාඥ වූ පුද්ගල තෙමේ කායදුශ්චරිතය ද, වාග්දුශ්චරිතය ද, මනෝදුශ්චරිතය ද හැර රාගාදි කෙලෙසුන් සහිත වෙනත් අකුසල් ද හැර -
3. අකුශලකර්ම නොකොට බොහෝ කුසල් කොට ශරීරයාගේ භේදයෙන් ස්වර්ගයට ද පැමිණේ.”
මෙ කරුණ භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 7.
[සෞචෙය සූත්රය]
66. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සුචි (පිරිසිදු) භාවයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායද්වාරයේ පිරිසිදු බව, වාග්ද්වාරයෙහි පිරිසිදු බව, මනෝද්වාරයේ පිරිසිදු බව ය. මහණෙනි, මේ පිරිසිදුබව් තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ආස්රව රහිත වූ කායසුචි, (කායසුචරිත) වාක්සුචි, මනස්සුචි යැ යි පිරිසිදුබව්හු තිදෙනෙකි. මේ පිරිසිදු බැවින් යුත් පිරිසිදු තැනැත්තහු සියලු පව් කිලිටු දුරැලන්නහු කොට ආර්ය්යෝ කියත්.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 8.
[මෞනෙය සූත්රය]
67. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මුනිභාවයෝ හෙවත් රහත්හු පිළිබඳ සමාචාරයෝ මේ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායමෝනෙය්ය ය, වචීමොනෙය්ය ය, මනෝමෝනෙය්ය යි. මහණෙනි, මේ මොනෙය්යයෝ හෙවත් රහත්හු පිළිබඳ සමාචාරයෝ තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන් ද) මෙසේ කියනු ලැබේ:
2. “ආස්රව රහිත වූ කායමෝනෙය්ය ය, වචීමොනෙය්ය ය, මනෝමෝනෙය්යය යන මෞනෙයයෙන් (මුනිගුණයෙන්) සමන්විත ඒ මුනිහු සෝදාහළ පව් ඇත්තාහු කොට ආර්ය්යයෝ කියත්.”
මෙ කරුණ භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 9.
[ප්රථම රාග සූත්රය]
68. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් කිසිවකුගේ රාගය ප්රහීණ නොවී ද, ද්වේෂය ප්රහීණ නො වී ද, මෝහය ප්රහීණ නො වී ද, මහණෙනි, මේ තෙමේ කෙලෙස් මරු විසින් බඳනා ලද්දේ යැ යි මොහු විසින් මාරපාසය (සිත් සතන්හි) ලා ගන්නා ලද්දේ වන්නේ යැ යි පවිටු (මර) හු විසින් කැමැති පරිදි කළ හැක්කෙක් ද වේ යැ යි කියනු ලැබේ.