3. 2. 7.
[සෞචෙය සූත්‍රය]
66. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සුචි (පිරිසිදු) භාවයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායද්වාරයේ පිරිසිදු බව, වාග්ද්වාරයෙහි පිරිසිදු බව, මනෝද්වාරයේ පිරිසිදු බව ය. මහණෙනි, මේ පිරිසිදුබව් තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ආස්‍රව රහිත වූ කායසුචි, (කායසුචරිත) වාක්සුචි, මනස්සුචි යැ යි පිරිසිදුබව්හු තිදෙනෙකි. මේ පිරිසිදු බැවින් යුත් පිරිසිදු තැනැත්තහු සියලු පව් කිලිටු දුරැලන්නහු කොට ආර්‍ය්‍යෝ කියත්.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 8.
[මෞනෙය සූත්‍රය]
67. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මුනිභාවයෝ හෙවත් රහත්හු පිළිබඳ සමාචාරයෝ මේ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායමෝනෙය්‍ය ය, වචීමොනෙය්‍ය ය, මනෝමෝනෙය්‍ය යි. මහණෙනි, මේ මොනෙය්‍යයෝ හෙවත් රහත්හු පිළිබඳ සමාචාරයෝ තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ද) මෙසේ කියනු ලැබේ:
2. “ආස්‍රව රහිත වූ කායමෝනෙය්‍ය ය, වචීමොනෙය්‍ය ය, මනෝමෝනෙය්‍යය යන මෞනෙයයෙන් (මුනිගුණයෙන්) සමන‍්‍විත ඒ මුනිහු සෝදාහළ පව් ඇත්තාහු කොට ආර්‍ය්‍යයෝ කියත්.”
මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 9.
[ප්‍රථම රාග සූත්‍රය]
68. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් කිසිවකුගේ රාගය ප්‍රහීණ නොවී ද, ද්වේෂය ප්‍රහීණ නො වී ද, මෝහය ප්‍රහීණ නො වී ද, මහණෙනි, මේ තෙමේ කෙලෙස් මරු විසින් බඳනා ලද්දේ යැ යි මොහු විසින් මාරපාසය (සිත් සතන්හි) ලා ගන්නා ලද්දේ වන්නේ යැ යි පවිටු (මර) හු විසින් කැමැති පරිදි කළ හැක්කෙක් ද වේ යැ යි කියනු ලැබේ.
මහණෙනි, යම් කිසිවකුගේ රාගය ප්‍රහීණ වී ද, ද්වේෂය ප්‍රහීණ වී ද, මෝහය ප්‍රහීණ වී ද, මහණෙනි, මේ තෙමේ කෙලෙස් මරු විසින් නොබඳනා ලද්දේ ය. මොහු විසින් මාරපාසය ඉවත් කරණ ලද්දේ ය, පවිටු (මර) හු විසින් කැමැති පරිදි කළ හැක්කෙක් වේ යැ යි කියනු ලැබේ.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමකු විසින් රාගයත් ද්වේෂයත් මෝහයත් නිරුද්ධ කරණ ලද්දාහු ද, භාවිතාත්මයන් (රහතුන්) අතුරෙන් එක්තරා කෙනෙක් වූ, බ්‍රහ්මභූතවූ (ශ්‍රේෂ්ඨ රහත් ඵලයට පැමිණි), තථාගත (අන් රහතුන් සේ පිළිපන්නා) වූ, බුදු වු (සිවුසස් පිළිවිදි) වෛරය ද භය ද ඉක්මැවූ ඒ පුද්ගලයා සියල්ල දුරු කළ කෙනෙකුන් කොට (බුද්ධාදි) ආර්‍ය්‍යයෝ කියත්.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදී.
3. 2. 10.
[දෙවෙනි රාග සූත්‍රය]
69. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ රාගය ප්‍රහීණ නොවී ද, ද්වේෂය ප්‍රහීණ නො වී ද, මෝහය ප්‍රහීණ නො වී ද, මහණෙනි, මෙ තෙමේ (කෝධුපායාස සඞ්ඛ්‍යාත) ලොකු කුඩා රළ සහිත වූ (පස්කම් නමැති) දියසුළි සහිත වූ (මස්කැසුබු දියරකුස් වැනි) විසභාග පුද්ගලයන් සහිත වූ සංසාර සමුද්‍රය (නොහොත් චක්‍ෂුරාදි ආයතන සමුද්‍ර ය) තරණය නො කෙළේ යැ යි කියනු ලැබේ.
මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ රාගය ප්‍රහීණ වී ද, ද්වේෂය ප්‍රහීණ වී ද, මෝහය ප්‍රහීණ වී ද, මහණෙනි, මෙ තෙමේ (කෝධුපායාස සඞ්ඛ්‍යාත) ලොකු කුඩා රළ සහිත වූ (පස්කම් නමැති) දියසුළි සහිත වූ (මස් කැසුබු දිය රකුස් වැනි) විසභාග පුද්ගලයන් සහිත වූ සංසාර සමුද්‍රය (නොහොත් චක්‍ෂුරාදි ආයතන සමුද්‍රය) තරණය කෙළේ යැ යි කියනු ලැබේ. බ්‍රාහ්මණ නම් වූ ඒ (ක්‍ෂීණාස්‍රව) තෙමේ එතෙර වූයේ පරතෙරට ගියේ (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ගොඩබිමැ සිටී යැ යි.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමකු විසින් රාග ද්වේෂ මෝහ නිරුද්ධ කරණ ලද්දාහු ද, හෙ තෙමේ විසභාග පුද්ගලයන් සහිත වූ (කෝධූපායාස සඞ්ඛ්‍යාත) රළබිය සහිත වූ තරණයට දුෂ්කර වූ සසර සයුර තරණය කෙළේ යි (රාගාදි පඤ්චවිධ) සඞ්ගයන් ඉක්ම වූ කෙලෙස් මරු දුරු කළ උපධි රහිත වූ දුරු කෙළේ නැවැත ඉපැදීමට නො ඒ යැ යි රාගාදීන් ඉක්මැ වූයේ යැ යි, (එහෙයින් ම) ප්‍රමාණයට නො ඒ යැ යි (එහෙයින් ම) මරු මුළා කෙළේ යැ යි කියමි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
දෙවන වගයි.
එහි උද්දානය:
පුඤ්ඤ, චක්ඛු, නැවත ඉන්‍ද්‍රිය, අද්ධ, චරිය දෙක, සොචෙය්‍ය, මෝනෙය්‍ය, නැවත රාග දෙකැ යි උතුම් දෙවැනි වර්‍ගය කීහු.