3. 2. 2.
[චක්‍ෂුස් සූත්‍රය]
61. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය.
1. මහණෙනි, චක්‍ෂූස්හු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: මසැ ස, දිවැස, පැණැස ය. මහණෙනි, මේ චක්‍ෂූස්හු තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පුරුෂෝත්තම වූ බුදුරදහු මසැස දිවැස නිරුත්තර වූ පැණැස (යන) තෙ ඇස වදාළහ.
3. මසැසෙහි පැවැත්ම (ඉපැත්ම) දිවැසට කාරණ යි. යම් විටෙක නිරුත්තර ප්‍රඥාචක්‍ෂුස වූ ආස්‍රවක්‍ෂය ඥානය පහළ වී ද, ඒ ඇස ලැබීමෙන් සියලු දුකින් මිදේ.”
මෙ අරුත ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 3.
[ඉන්‍ද්‍රිය සූත්‍රය]
62. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය (සෝවාන් මග නුවණ), අඤ්ඤින්‍ද්‍රිය (සෝවාන් පෙලෙහි පටන් සතැනක පවත්නා නුවණ), අඤ්ඤාතාවින්‍ද්‍රිය (රහත්පල නුවණ) යි. මහණෙනි, මේ ඉන්‍ද්‍රියෝ තිදෙන වෙත්.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පිළිවෙළින් ආර්‍ය්‍ය මාර්‍ගය උපදවන්නා වූ, ත්‍රිවිධ ශික්‍ෂා වඩන්නා වූ සේඛපුද්ගලයාහට පළමු කොට රහත්මග නුවණ උපදී. ඉක්බිති එයට අනතුරුව ම රහත්පල නුවණ ලැබෙයි.
3. නොහොත් සමථවිදර්‍ශනා වශයෙන් පැවති පූර්‍වාභාග මාර්‍ගයට පිළිපන්නා වූ ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මෙන තාදී වූ සේඛපුද්ගලයාහට සෝතාපත්ති මාර්‍ගයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය පහළ වෙයි. එයට අනතුරුව අඤ්ඤින්‍ද්‍රිය උපදී. භවසඤ්ඤෝජනයන් ක්‍ෂය කිරීම නිසා මාගේ විමුක්තිය අකෝප්‍ය වේ යැ යි ඒ අඤ්ඤින්‍ද්‍රියට පසුව ප්‍රත්‍යවේක්‍ෂාඥානය උපදී.
4. (යථෝක්ත ත්‍රිවිධ) ඉන්‍ද්‍රියයෙන් සමන්‍විත වූ ශාන්ත වූ නිවණෙහි ඇලුනාවූ ඒ පුද්ගල තෙමේ සේනා සහිත මරු දිනා පශ්චිම දේහය දරයි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 4.
[අධ්ව සූත්‍රය]
63. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ කාලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: අතීත කාලය, අනාගත කාලය, වර්‍තමාන කාලය යි. මහණෙනි, මේ කාලයෝ තිදෙන වෙත්.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සත්ත්‍වයෝ අක්ඛෙය්‍ය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයන්හි සත්ත්‍වපුද්ගලාදි සංඥා ඇත්තාහු පඤ්චස්කන්‍ධයෙහි පිහිටියාහු පඤ්චස්කන්‍ධය පිරිසිඳ නොදැන මරුවසයට පැමිණෙත්.
3. පඤ්චස්කන්‍ධය පිරිසිඳ දැන (තිස්ස ඵුස්ස යන ආදි නම් ගොත් වශයෙන්) කියයුත්තකු නොහඟී. (යම් හෙයකින්) විමෝක්‍ෂා සඞ්ඛ්‍යාත නිරුත්තර නිර්‍වාණපදය සිතින් ස්පර්‍ශ කරණ ලද ද, එහෙයිනි.