3. 2. 3.
[ඉන්ද්රිය සූත්රය]
62. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ ඉන්ද්රියයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය (සෝවාන් මග නුවණ), අඤ්ඤින්ද්රිය (සෝවාන් පෙලෙහි පටන් සතැනක පවත්නා නුවණ), අඤ්ඤාතාවින්ද්රිය (රහත්පල නුවණ) යි. මහණෙනි, මේ ඉන්ද්රියෝ තිදෙන වෙත්.
භාග්යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පිළිවෙළින් ආර්ය්ය මාර්ගය උපදවන්නා වූ, ත්රිවිධ ශික්ෂා වඩන්නා වූ සේඛපුද්ගලයාහට පළමු කොට රහත්මග නුවණ උපදී. ඉක්බිති එයට අනතුරුව ම රහත්පල නුවණ ලැබෙයි.
3. නොහොත් සමථවිදර්ශනා වශයෙන් පැවති පූර්වාභාග මාර්ගයට පිළිපන්නා වූ ත්රිවිධ ශික්ෂාවෙහි හික්මෙන තාදී වූ සේඛපුද්ගලයාහට සෝතාපත්ති මාර්ගයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය පහළ වෙයි. එයට අනතුරුව අඤ්ඤින්ද්රිය උපදී. භවසඤ්ඤෝජනයන් ක්ෂය කිරීම නිසා මාගේ විමුක්තිය අකෝප්ය වේ යැ යි ඒ අඤ්ඤින්ද්රියට පසුව ප්රත්යවේක්ෂාඥානය උපදී.
4. (යථෝක්ත ත්රිවිධ) ඉන්ද්රියයෙන් සමන්විත වූ ශාන්ත වූ නිවණෙහි ඇලුනාවූ ඒ පුද්ගල තෙමේ සේනා සහිත මරු දිනා පශ්චිම දේහය දරයි.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 4.
[අධ්ව සූත්රය]
63. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ කාලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය යි. මහණෙනි, මේ කාලයෝ තිදෙන වෙත්.
භාග්යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සත්ත්වයෝ අක්ඛෙය්ය සඞ්ඛ්යාත පඤ්චස්කන්ධයන්හි සත්ත්වපුද්ගලාදි සංඥා ඇත්තාහු පඤ්චස්කන්ධයෙහි පිහිටියාහු පඤ්චස්කන්ධය පිරිසිඳ නොදැන මරුවසයට පැමිණෙත්.
3. පඤ්චස්කන්ධය පිරිසිඳ දැන (තිස්ස ඵුස්ස යන ආදි නම් ගොත් වශයෙන්) කියයුත්තකු නොහඟී. (යම් හෙයකින්) විමෝක්ෂා සඞ්ඛ්යාත නිරුත්තර නිර්වාණපදය සිතින් ස්පර්ශ කරණ ලද ද, එහෙයිනි.
4. පඤ්චස්කන්ධය පිරිසිඳ දන්නා වූ ශාන්තවූ නිවණෙහි ඇලුනාවූ, ප්රත්යවේක්ෂා කොට සිවුපසය සෙවුනා සුලුවූ, අසේඛ ධර්මයන්හි නොහොත් නිර්වාණ ධර්මයෙහි පිහිටි චතුස්සත්යයෙහි පරතෙරට ගියා වූ ඒ පුද්ගල තෙමේ (දෙවි මිනිස් ආදී) සඞ්ඛ්යාවට නො පැමිණෙයි.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 5.
[දුශ්චරිත සූත්රය]
64. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ දුශ්චරිතයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය යි. මහණෙනි, මේ දුශ්චරිතයෝ තිදෙන වෙත්.
භාග්යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) ද මෙසේ කියනු ලැබේ:
2. “ඒ දුෂ්ප්රාඥවූ පුද්ගල තෙමේ කායදුශ්චරිත ද, වාග්දුශ්චරිත ද, මනෝදුශ්චරිත ද කොට රාගාදි කෙලෙසුන් සහිත වෙනත් අකුසල් ද කොට -
3. කුශලකර්ම නොකොට බොහෝ අකුශලකර්ම කොට ශරීරයාගේ භේදයෙන් නරකයට පැමිණේ.”
මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 6.
[සුචරිත සූත්රය]
65. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ සුචරිතයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායසුචරිතය, වාග්සුචරිතය, මනස්සුචරිතය යි. මහණෙනි, මේ සුචරිතයෝ තිදෙන වෙත්.
භාග්යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන් ද) මෙසේ කියනු ලැබේ:
2. “ඒ සප්රාඥ වූ පුද්ගල තෙමේ කායදුශ්චරිතය ද, වාග්දුශ්චරිතය ද, මනෝදුශ්චරිතය ද හැර රාගාදි කෙලෙසුන් සහිත වෙනත් අකුසල් ද හැර -
3. අකුශලකර්ම නොකොට බොහෝ කුසල් කොට ශරීරයාගේ භේදයෙන් ස්වර්ගයට ද පැමිණේ.”
මෙ කරුණ භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.