3. 2. 10.
[දෙවෙනි රාග සූත්‍රය]
69. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ රාගය ප්‍රහීණ නොවී ද, ද්වේෂය ප්‍රහීණ නො වී ද, මෝහය ප්‍රහීණ නො වී ද, මහණෙනි, මෙ තෙමේ (කෝධුපායාස සඞ්ඛ්‍යාත) ලොකු කුඩා රළ සහිත වූ (පස්කම් නමැති) දියසුළි සහිත වූ (මස්කැසුබු දියරකුස් වැනි) විසභාග පුද්ගලයන් සහිත වූ සංසාර සමුද්‍රය (නොහොත් චක්‍ෂුරාදි ආයතන සමුද්‍ර ය) තරණය නො කෙළේ යැ යි කියනු ලැබේ.
මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ රාගය ප්‍රහීණ වී ද, ද්වේෂය ප්‍රහීණ වී ද, මෝහය ප්‍රහීණ වී ද, මහණෙනි, මෙ තෙමේ (කෝධුපායාස සඞ්ඛ්‍යාත) ලොකු කුඩා රළ සහිත වූ (පස්කම් නමැති) දියසුළි සහිත වූ (මස් කැසුබු දිය රකුස් වැනි) විසභාග පුද්ගලයන් සහිත වූ සංසාර සමුද්‍රය (නොහොත් චක්‍ෂුරාදි ආයතන සමුද්‍රය) තරණය කෙළේ යැ යි කියනු ලැබේ. බ්‍රාහ්මණ නම් වූ ඒ (ක්‍ෂීණාස්‍රව) තෙමේ එතෙර වූයේ පරතෙරට ගියේ (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ගොඩබිමැ සිටී යැ යි.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමකු විසින් රාග ද්වේෂ මෝහ නිරුද්ධ කරණ ලද්දාහු ද, හෙ තෙමේ විසභාග පුද්ගලයන් සහිත වූ (කෝධූපායාස සඞ්ඛ්‍යාත) රළබිය සහිත වූ තරණයට දුෂ්කර වූ සසර සයුර තරණය කෙළේ යි (රාගාදි පඤ්චවිධ) සඞ්ගයන් ඉක්ම වූ කෙලෙස් මරු දුරු කළ උපධි රහිත වූ දුරු කෙළේ නැවැත ඉපැදීමට නො ඒ යැ යි රාගාදීන් ඉක්මැ වූයේ යැ යි, (එහෙයින් ම) ප්‍රමාණයට නො ඒ යැ යි (එහෙයින් ම) මරු මුළා කෙළේ යැ යි කියමි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
දෙවන වගයි.
එහි උද්දානය:
පුඤ්ඤ, චක්ඛු, නැවත ඉන්‍ද්‍රිය, අද්ධ, චරිය දෙක, සොචෙය්‍ය, මෝනෙය්‍ය, නැවත රාග දෙකැ යි උතුම් දෙවැනි වර්‍ගය කීහු.
තෙවෙනි වර්‍ගය
3. 3. 1.
[මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන සූත්‍රය]
70. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, කායදුශ්චරිතයෙන් යුක්ත වූ වාග්දුශ්චරිතයෙන් යුක්ත වූ මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපදින්නාහු ය.
මහණෙනි, එ කරුණ මම අන් මහණ බමුණකුගෙන් අසා නො ම කියමි.
මහණෙනි, කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ, ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ, මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටිහේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපන්නාහු ය.
යලි දු මහණෙනි, යමක් තමා විසින් ම නුවණින් අවබෝධ කරණ ලද ද, තමා විසින් ම දක්නා ලද ද, තමා විසින් ම දන්නා ලද ද, එය ම මම කියමි.
මහණෙනි, කායවාග්මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපන්නාහු වෙති.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මෙ ලොව පුඟුල් තෙම සිත වැරැදි ලෙස පිහිටුවා, වැරැදි බස් තෙපලා, කයින් වැරැදි ක්‍රියා කොට,
3. මේ මිනිස් ලොවැ ජීවත් වන සුළු කාලය තුළ ඇසු පිරූ තැන් නැති අකුසල් කරණ, නුවණ නැති ඒ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු නරකයෙහි උපදී.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.