3. 1. 8.
[ද්විතීය ආස්‍රව සූත්‍රය]
57. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, ආස්‍රවයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමාස්‍රවය, භවාස්‍රවය, අවිද්‍යාස්‍රවය යි. මහණෙනි, මේ ආස්‍රවයෝ තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමකු විසින් කාමාස්‍රවය ක්‍ෂය කරණ ලද ද, අවිද්‍යාව දුරු කරණ ලද ද, භවාස්‍රවය ක්‍ෂය කරණ ලද ද, කෙලෙසුන්ගෙන් මිදුනා වූ උපධි රහිත වූ, (ඒ රහත් තෙමේ) සේනාසහිත මාරයා දිනා අන්තිම වූ ශරීරය දරයි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 9.
[තෘෂ්ණා සූත්‍රය]
58. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ තෘෂ්ණාවෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමතෘෂ්ණාය (පඤ්චකාමයෙහි ඇල්මය), (ශාශ්වතදෘෂ්ටිසහගත භවයෙහි ඇල්ම නම් වූ) භවතෘෂ්ණාය, (උච්ඡේදදෘෂ්ටිසහගත ඇල්ම නම් වූ) විභවතෘෂ්ණාය. මහණෙනි, මේ තෘෂ්ණාවෝ තිදෙන වෙත්:
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් කෙනෙක් තෘෂ්ණායෝගයෙන් සංයුක්ත වූවාහු, කුදු මහත් භවයෙහි ඇලුණු සිත් ඇත්තාහු වෙද්ද, ඒ සංසාරගත සත්ත්‍වයෝ මාරපාශ සඞ්ඛ්‍යාත යෝගයෙන් බැඳුනාහු වෙත්: සත්ත්‍වයෝ (නැවත නැවත උත්පත්ති වශයෙන්) සසරට යෙත්. (එ හෙයින්) නැවත ජාති මරණ දුක්වලට පැමිණෙන සුලු වූවාහු වෙත්.
3. යම් සත්ත්‍ව කෙනෙක් තෘෂ්ණාව දුරු කොට කුදු මහත් භවයෙහි ආශා රහිත වූවාහු ද, යම් කෙනෙකුත් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවණ පැමිණියාහු ද ඔවුහු ලෙව්හි පරතෙරට ගියාහු නම් වෙත්.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 1. 10.
[මාරධෙය්‍ය සූත්‍රය]
59. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ධර්‍මත්‍රයයකින් යුක්ත වූ මහණ තෙමේ මාරධෙය සඞ්ඛ්‍යාත ත්‍රෛභූමක වෘත්තය ඉක්මවා හිරු මෙන් බබලයි. කවර ධර්‍මත්‍රයයකින් ද යත්: මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන් යුක්ත වේ ද, අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන් යුක්ත වේ ද, අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වේ ද,
මහණෙනි, මේ ධර්‍මත්‍රයයෙන් යුක්ත වූ මහණ තෙමේ මාරධෙය සඞ්ඛ්‍යාත ත්‍රෛභූමික වෘත්තය (සසර) ඉක්මවා හිරු මෙන් බබලයි.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමකු විසින් මේ ශීලසමාධිප්‍රඥාවෝ මනා කොට වඩන ලද්දාහු ද (ඒ පුද්ගල තෙමේ) මාරයාගේ විෂයය වූ ත්‍රෛභූමකවෘත්තය (සසර දුක්) ඉක්මවා හිරු මෙන් බබලයි.”
මේ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
පළමුවන වර්‍ගය යි.
එහි උද්දානය:
අකුසලමූලය, ධාතුය, වේදනා දෙක ය, ඒසනා දෙක ය, ආසව දෙක ය, තණ්හාය, මාරධෙය්‍ය යයි මේ උතුම් පළමු වන වර්‍ගය කීහු.