2. 2. 7.
[නිර්වාණධාතු සූත්රය]
44. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, මේ නිර්වාණධාතූහු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්: සෝපාදිශේෂ නිර්වාණධාතු, අනුපාදිශේෂ නිර්වාණධාතු ය.
2. මහණෙනි, සෝපාදිශේෂ නිර්වාණධාතු කවරේ ද?
මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ රහත් වූයේ, පහ කළ ආස්රව ඇතියේ, වැස නිමවූ බඹසර ඇතියේ, කරණ ලද සිවුමග කිස ඇතියේ, බහා තබන ලද කෙලෙස් බර ඇතියේ, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇතියේ, පිරිහුනු බවබැඳුම් ඇතියේ, මනා කොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුනේ වේ ද, ඒ රහත්හු පිළිබඳ යම් ඉන්ද්රිය කෙනකුන් නිරුද්ධ නොකළ හෙයින් ඉටු අනිටු අරමුණු ලබයි ද, සැප දුක් විඳියි ද, ඒ පසිඳුරෝ පවත්නාහු ම වෙත්. ඒ රහත්හුගේ රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වේ ද, මහණෙනි, මේ (ක්ලේශපරිනිර්වාණය) සෝපාදිශේෂ නිර්වාණධාතුයැ යි කියනු ලැබේ.
3. මහණෙනි, අනුපාදිශේෂ නිර්වාණධාතු කවරේ ද?
මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ රහත් වූයේ, පහ කළ ආස්රව ඇතියේ, වැස නිමවූ බඹසර ඇතියේ, කරණ ලද සිවු මග කිස ඇතියේ, බහා තබන ලද කෙලෙස් බර ඇතියේ, පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇතියේ, පිරිහුනු බවබැඳුම් ඇතියේ, මනා කොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුනේ වේ ද, මහණෙනි, ඒ රහත්හුගේ සියලු වේදනාවෝ මේ අත්බැව්හි ම තෘෂ්ණාදීන් නොරුස්නා ලද්දාහු (අතිශයින් සන්හුන් බැවින්) සිහිල් වන්නාහුය. මහණෙනි, මේ (ස්කන්ධපරිනිර්වාණය) අනුපාදිශේෂ නිර්වාණධාතුයැ යි කියනු ලැබේ.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය ගාථා වශයෙන් මෙසේ කියනු ලැබේ:
4. පසැස් ඇත්තා වූ, තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන් ආශ්රිත නොවූ, (ඉටු අනිටු අරමුණු විෂයයෙහි) තාදීගුණ යුක්ත වූ, බුදුරදුන් විසින් මේ නිර්වාණ ධාතුහු දෙදෙනෙක් වදාරණ ලදහ: එකක් දිට්ඨධම්මික (මේ අත්බවට අයත් වූ) උපාදි සඞ්ඛ්යාත ස්කන්ධශේෂ සහිත ය. භවනෙත්ති සඞ්ඛ්යාත තෘෂ්ණාවගේ ක්ෂයයෙන් වේ. යම් නිර්වාණ ධාතුයෙක්හි සර්වප්රකාරයෙන් භවයෝ නිරුද්ධ වෙත් ද, ඒ අනුපාදිශේෂ නිර්වාණධාතු තොමෝ සාම්පරායික (හෙවත් මරණින් මත්තෙහි) වේ.
5. යම් කෙනෙක් මේ අසඞ්ඛතධාතු සඞ්ඛ්යාත නිර්වාණපදය දැන තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් මිදුනු සිත් ඇත්තාහු වෙත් ද, ඔහු ධම්මසාර නම් වූ රහත් බව ලැබීමෙන් නිවණෙහි ඇලුනාහු වෙත්. (නොහොත් ධම්මසාර නම් වූ නිර්වාණාධිගමයෙන් අනුපාදිශේෂ නිර්වාණයෙහි ඇලුනු) තාදී වු ඔහු සියලු භවයන් පහ කළාහු වෙත්.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. මෙසේ මා විසින් අසන ලදි.
2. 2. 8.
[ප්රතිසංලයන සූත්රය]
45. භගවත් බුදුරදුන් විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, හුදෙකලාබව්හි ඇලුනෝ ව, හුදෙකලාබවෙහි නිරත ව, වාසය කරවු. ස්වකීය චිත්තසමථයෙහි යෙදුනෝ වැ බැහැරැ නොකළ ධ්යාන ඇත්තෝ ව විදර්ශනාවෙන් යුක්ත වැ ශූන්යාගාරයන්හි වැඩිය යුතු කමටහන් වඩන්නෝ වැ වාසය කරවු. මහණෙනි, හුදෙකලා වාසයෙහි ඇලී, හුදෙකලා වාසයෙහි නිරත ව චිත්තසමථයෙහි යෙදී බැහැර නොකළ ධ්යාන ඇති ව විදර්ශනාවෙන් යුක්ත ව ශූන්යාගාරයන්හි වැඩිය යුතු කමටහන් වඩමින් වාසයකරන්නන් විසින් මේ අත්බැව්හි රහත්බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු යි.
මේ අර්ත්ථය භගවත්හු වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් කෙනෙක් ශාන්ත සිත් ඇත්තාහු වෙත් ද, පාරිහාරික නුවණින් යුක්ත වෙත් ද, සිහි ඇත්තාහු වෙත් ද, ධ්යාන කරණ සුලු වෙත් ද, කාමයන්හි අපේක්ෂා රහිත වූවාහු පඤ්චස්කන්ධය අනිත්යාදි වශයෙන් මොනවට බලත් ද,
3. අප්රමාදයෙහි ඇලුනා වූ, ප්රමාදයෙහි බිය දක්නා සුලු වූ, ශාන්ත වූ, (ඔහු) පිරිහීමට සුදුස්සෝ නො වෙත්. නිවණ සමීපයෙහි ම වෙත්.”
මේ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
2. 2. 9.
[ශික්ෂානෘශංස සූත්රය]
46. භගවත් බුදුරදුන් විසින් මේ සූත්රය වදාරණ ලද්දේය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, (ත්රිවිධ) ශික්ෂාවෙහි අනුසස් දක්නා සුලු වූවාහු, ප්රඥාව ප්රධාන කොට ඇත්තාහු, විමුක්තිය හර කොට ඇත්තාහු සිහිය අධිපති කොට ඇත්තාහු වාසය කරවු. මහණෙනි, (ත්රිවිධ) ශික්ෂාවෙහි අනුසස් දැක ප්රඥාව ප්රධාන කොට, විමුක්තිය හර කොට සිහිය අධිපති කොට වාසය කරන්නන් විසින් මේ අත්බැව්හි රහත්බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද (යන) ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු.
මේ කරුණ ද භගවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “නිවණ දක්නා සුලු වූ, අන්තිම සිරුර දරන්නා වූ, මානය දුරු කළා වූ ජරාවගේ පරතෙරට ගියා වූ ඒ මුනි තෙමේ සම්පූර්ණ ශික්ෂා ඇත්තේ යැ යි ද, අකෝප්ය (අවිකාර්ය්ය) ධර්ම ඇත්තේ යැ යි ද, ප්රඥාව ශ්රේෂ්ඨ කොට ඇත්තේ යැ යි ද කියමි.
3. මහණෙනි, එසේ හෙයින් හැම කල්හි ධ්යානයෙහි ඇලුනාහු, එකඟ සිත් ඇත්තාහු, කෙලෙස් තවන වීර්ය්ය ඇත්තාහු, නිවණ දක්නා සුලු වූවාහු, සේනා සහිත මරු මැඩ ලා ජාති (ජරා) මරණයන්ගේ පරතෙරට ගියාහු වවු.
මේ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.