2. 2. 8.
[ප්‍රතිසංලයන සූත්‍රය]
45. භගවත් බුදුරදුන් විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, හුදෙකලාබව්හි ඇලුනෝ ව, හුදෙකලාබවෙහි නිරත ව, වාසය කරවු. ස්වකීය චිත්තසමථයෙහි යෙදුනෝ වැ බැහැරැ නොකළ ධ්‍යාන ඇත්තෝ ව විදර්‍ශනාවෙන් යුක්ත වැ ශූන්‍යාගාරයන්හි වැඩිය යුතු කමටහන් වඩන්නෝ වැ වාසය කරවු. මහණෙනි, හුදෙකලා වාසයෙහි ඇලී, හුදෙකලා වාසයෙහි නිරත ව චිත්තසමථයෙහි යෙදී බැහැර නොකළ ධ්‍යාන ඇති ව විදර්‍ශනාවෙන් යුක්ත ව ශූන්‍යාගාරයන්හි වැඩිය යුතු කමටහන් වඩමින් වාසයකරන්නන් විසින් මේ අත්බැව්හි රහත්බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු යි.
මේ අර්‍ත්‍ථය භගවත්හු වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් කෙනෙක් ශාන්ත සිත් ඇත්තාහු වෙත් ද, පාරිහාරික නුවණින් යුක්ත වෙත් ද, සිහි ඇත්තාහු වෙත් ද, ධ්‍යාන කරණ සුලු වෙත් ද, කාමයන්හි අපේක්‍ෂා රහිත වූවාහු පඤ්චස්කන්‍ධය අනිත්‍යාදි වශයෙන් මොනවට බලත් ද,
3. අප්‍රමාදයෙහි ඇලුනා වූ, ප්‍රමාදයෙහි බිය දක්නා සුලු වූ, ශාන්ත වූ, (ඔහු) පිරිහීමට සුදුස්සෝ නො වෙත්. නිවණ සමීපයෙහි ම වෙත්.”
මේ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
2. 2. 9.
[ශික්‍ෂානෘශංස සූත්‍රය]
46. භගවත් බුදුරදුන් විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, (ත්‍රිවිධ) ශික්‍ෂාවෙහි අනුසස් දක්නා සුලු වූවාහු, ප්‍රඥාව ප්‍රධාන කොට ඇත්තාහු, විමුක්තිය හර කොට ඇත්තාහු සිහිය අධිපති කොට ඇත්තාහු වාසය කරවු. මහණෙනි, (ත්‍රිවිධ) ශික්‍ෂාවෙහි අනුසස් දැක ප්‍රඥාව ප්‍රධාන කොට, විමුක්තිය හර කොට සිහිය අධිපති කොට වාසය කරන්නන් විසින් මේ අත්බැව්හි රහත්බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද (යන) ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු.
මේ කරුණ ද භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “නිවණ දක්නා සුලු වූ, අන්තිම සිරුර දරන්නා වූ, මානය දුරු කළා වූ ජරාවගේ පරතෙරට ගියා වූ ඒ මුනි තෙමේ සම්පූර්‍ණ ශික්‍ෂා ඇත්තේ යැ යි ද, අකෝප්‍ය (අවිකාර්‍ය්‍ය) ධර්‍ම ඇත්තේ යැ යි ද, ප්‍රඥාව ශ්‍රේෂ්ඨ කොට ඇත්තේ යැ යි ද කියමි.
3. මහණෙනි, එසේ හෙයින් හැම කල්හි ධ්‍යානයෙහි ඇලුනාහු, එකඟ සිත් ඇත්තාහු, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාහු, නිවණ දක්නා සුලු වූවාහු, සේනා සහිත මරු මැඩ ලා ජාති (ජරා) මරණයන්ගේ පරතෙරට ගියාහු වවු.
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 10.
[ජාගර්‍ය සූත්‍රය]
47. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් අසන ලදී.
1. මහණෙනි, මහණ තෙමේ (කමටහන් මෙනෙහි කිරීමෙන්) නිදි දුරු කෙළේ, එළඹ සිටි සිහි ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ, එකඟ වූ සිත් ඇත්තේ, ප්‍රමුදිත වූයේ, ප්‍රසන්න වූයේ, කුශලධර්‍ම විදර්‍ශනායෙහි කාලානුරූප වැ යෙදී වාසය කරන්නේ වේ ද, මහණෙනි, නිදි දුරුකළා වූ, එළඹ සිටි සිහි ඇති, සම්‍යක්ප්‍රඥා ඇති, එකඟ සිත් ඇති, ප්‍රමුදිත වූ, ප්‍රසන්න වූ ඒ කුශලධර්‍ම විදර්‍ශනායෙහි කාලානුරූප ව යෙදෙන භික්‍ෂුහු විසින් මේ අත්බැව්හි රහත් බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “නිදි වර්‍ජජිත කිරීමෙහි යෙදුනාහු තෙපි මේ වචනය අසවු: යම් කෙනෙක් නිද්‍රාවට ගියාහු ද ඒ තෙපි පිබිදෙවු. නිදීමට වඩා නිදි වැරීම ශ්‍රේෂ්ඨය. නිදි වරන්නාට (අත්තානුවාදී) බියෙක් නැත්තේ ය.
3. යමෙක් නිදි දුරු කෙළේ, සිහි ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ, එකඟ සික් ඇත්තේ, ප්‍රමුදිත වූයේ, විප්‍රසන්න වූයේ, සුදුසු කල්හි බෝධිපාක්‍ෂික ධර්‍මයන් හාත්පසින් විමසා බලන්නේ, හටගත් ශ්‍රේෂ්ඨ සමාධි ඇත්තේ වේ ද, හෙ තෙමේ මොහඳුර නසන්නේ වේ.
4. එසේ හෙයින් ඒකාන්තයෙන් නිදි වැරීම භජනය කරවු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, ප්‍රඥාසම්පන්න ධ්‍යානලාභී භික්‍ෂු තෙමේ මේ අත්බැව්හි ම ජාතිජරාවන් පිළිබඳ සංයෝජනයන් නසා නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය ස්පර්‍ශ කරන්නේ ය. (ලබන්නේ යි.)
මේ කාරණය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 11.
[ආපායික සූත්‍රය]
48. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ (කියනු ලබන දෙවැදෑරුම් පාපසමාචාර) අත් නොහැර අපායේ උපදින නිරයේ උපදින මේ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්: යමෙක් බ්‍රහ්මචාරී නොවූයේ බ්‍රහ්මචාරී වෙමි යි ප්‍රතිඥා කෙරේ ද, යමෙකුත් පිරිසිදු බඹසර හැසිරෙන්නහුට අමූලික ග්‍රාමධර්‍මයෙන් දැන දැන චෝදනා කෙරේ ද, මහණෙනි, මෙය අත් නොහැර අපායේ උපදින නිරයේ උපදින මේ දෙදෙන වෙත්.