දෙවෙනි වර්‍ගය
2. 2. 1.
[විතර්‍ක සූත්‍රය]
38. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය.
1. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට විතර්‍කයෝ දෙදෙනෙක් බහුලව පවතිත්: ක්‍ෂේම විතර්‍කය, ප්‍රවිවේක විතර්‍කය (යන දෙකයි). මහණෙනි, තථාගත තෙමේ අවිහිංසාවේ ඇලුනේ ද, අවිහිංසාවෙහි නිරත වූයේ ද වෙයි. මහණෙනි, අවිහිංසාවෙහි ඇලුනා වූ, අවිහිංසාවෙහි නිරත වූ, ඒ මේ තථාගතයන්ට මේ විතර්‍කය බහුල ව පවතී: “මම මේ ක්‍රියාවෙන් (කායවාක් ප්‍රයෝගයෙන්) (තෘෂ්ණාප්‍රහීණ නොකළ) තස නම් වූ හෝ (තෘෂ්ණා ප්‍රහීණ කළ) ථාවර නම් වූ හෝ කිසිවකු නො පෙළමි” කියා යි. මහණෙනි, තථාගත තෙමේ උතුම් විවේකයෙහි ඇලුනේ ද, උතුම් විවෙක යෙහි නිරත වූයේ වෙයි. මහණෙනි, උතුම් විවේකයෙහි ඇලුනා වූ, උතුම් විවෙයෙහි නිරත වූ ඒ මේ තථාගතයන්ට මේ විතර්‍කය බහුලව පවතී: “යමක් අකුසල් වේ ද එය ප්‍රහීණය” කියා යි.
2. මහණෙනි, එසේ හෙයින් තෙපි දු අවිහිංසාවෙහි ඇලුනාහු අවිහිංසාවෙහි නිරතවූවාහු වාසය කරවු. මහණෙනි, අවිහිංසාවෙහි ඇලී අවිහිංසාවෙහි නිරත ව වෙසෙන ඒ තොපට මේ විතර්‍කය ම බහුල ව පවත්නේ ය: “අපි මේ ක්‍රියාවෙන් (කායවාක් ප්‍රයෝගයෙන්) තස නම් වූ හෝ ථාවර නම් වූ හෝ කිසිවකු නො පෙළමු” කියායි. මහණෙනි, උතුම් විවේකයෙහි ඇලුනාහු උතුම් විවේකයෙහි නිරත වූවාහු වාසය කරවු. මහණෙනි, උතුම් විවේකයෙහි නිරතව වෙසෙන ඒ තොපට මේ විතර්‍කය බහුලව පවත්නේ ය: “අකුසල් කිම? කුමක් අප්‍රහීණ ද? කුමක් දුරු කරමු ද?” කියා යි.
බුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
3. “අන්‍යයන් විසින් නො ඉවසිය හැකි දෑ ඉවසන සුලු වූ, තථාගත බුදුරදුන්ට විතර්‍කයෝ දෙදෙනෙක් පවතිත්: පළමුව ක්‍ෂේම විතර්‍කය කියන ලදී. ඉක්බිති දෙවනු ව ප්‍රවිවේක විතර්‍කය ප්‍රකාශ කරන ලදී.
4. මොහඳුරු දුරු කළා වූ, පාර සඞ්ඛ්‍යාත නිවණට ගියා වූ, (පැමිණිය යුතු සියල්ලට පැමිණි හෙයින්) පත්තිපන්න වූ, සිත් වසඟ බැව් ඇති, ආස්‍රව රහිත වූ (සියලු සසර දුකින් එතෙර ව සෙස්සන් ද එතෙර කළ හෙයින්) විශ්වන්තර වූ, අර්‍හත් ඵල විමුක්තියෙන් මිදුනා වූ, පශ්චිමකායධාරී වූ, කෙලෙස් මරුන් දුරු කළා වූ, ජරාවගේ පරතෙරට පත් ඒ තථාගතයන්ට සම්‍යක් විතර්‍කයෝ දෙදෙනෙක් පවතිත් යැ යි කියමි.
5. ඒකඝනවූ ගල් පර්‍වතයක් මුදුනෙහි සිටියෙක් හාත්පස ජනසමූහයා යම් සේ දකී ද, එසේ සුන්‍දර ප්‍රඥා ඇත්තාවූ, සමතැස් ඇත්තා වූ, පහ වූ ශෝක ඇති බුදුරජානන් වහන්සේ ඒ සෙල්පව්වට උපමා වූ දහම් පහය නැඟ ජාති ජරාවෙන් මඩනා ලද ශෝකයෙහි ගැලුනු ජනසමූහයා බලන සේක.
මේ කරුණ ද භාග්‍යවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 2.
[දේශනා සූත්‍රය]
39. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. “මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ ධර්‍මදේශනා කාරණ වශයෙන් (නොහොත් වාර වශයෙන්) දෙකෙකි. කවර දෙකෙක් ද යත්: “පාපය ලාමක වශයෙන් බලවු.” යන මෙය පළමු වන ධර්‍මදේශනා ව යි. “පාපය ලාමක වශයෙන් දැක එහි කලකිරෙවු, නො ඇලෙවු, මිදෙවු” යන දෙවන ධර්‍මදේශනාව යි. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ ධර්‍මදේශනා කාරණ වශයෙන් (නොහොත් වාර වශයෙන්) මේ දෙකෙකි.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “සියලු සත්ත්‍වයන් කෙරෙහි අනුකම්පා කරණ සුලු වු තථාගත බුදුරජානන් වහන්සේගේ කාරණ වශයෙන් (නොහොත් වාර වශයෙන්) පවත්නා වූ දේශනාව බලවු. උන්වහන්සේ විසින් ධර්‍මයෝ දෙදෙනෙක් ප්‍රකාශ කරණ ලදහ.
3. පාපය ලාමක වශයෙන් බලවු, එහිදු නො ඇලෙවු ඉක්බිති නො ඇලුනු සිත් ඇත්තාහු දුක් කෙළවර කරවු.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
2. 2. 3.
[විද්‍යා සූත්‍රය]
40. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, අකුශල ධර්‍මයන්ගේ රැස් කිරීමට අවිද්‍යා තොමෝ පෙරටු වන්නී ය. අහිරික අනොත්තප්ප දෙක ඒ අනුව පවතී. මහණෙනි, කුශල ධර්‍මයන්ගේ රැස් කිරීමට විද්‍යාව පෙරටු වන්නී ය. හිරි ඔතප් දෙක ඒ අනුව පවතී.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මෙ ලොවත් පරලොවත් යම් කිසි දුර්‍ගතීහු වෙත් නම් ඒ සියල්ල අවිද්‍යාව මුල්කොට ඇත්තාහු වෙත් නොලත් දෙය සෙවීම් ලක්‍ෂණ ඊප්සාවය, ලත් දෙයෙහි ඇලීම් ලක්‍ෂණ ලෝභය යන මොවුන් විසින් රැස් කරණ ලද්දාහු වෙත්.
3. යම් හෙයකින් ලාමක ඊප්සා ඇත්තේ පවට ලජ්ජා නැත්තේ ආදර නැත්තේ වේ ද, එහෙයින් පව් රැස් කෙරෙයි. ඒ හේතුවෙන් අපායට යෙයි.
4. එහෙයින් ඡන්‍දය (ඊප්සාව) ද, ලෝභය ද, අවිද්‍යාව ද, සහමුලින් නසන්නා වූ මාර්‍ගවිද්‍යාව උපදවන්නාවූ මහණ තෙමේ සියලු දුර්‍ගතීන් දුරු කරන්නේ ය.”
මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
පළමුවන බණවරයි