2. 2. 12.
[දෘෂ්ටිගත සූත්රය]
49. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් අසන ලදී.
1. මහණෙනි, දෘෂ්ටි ද්වයකින් (මිථ්යාදර්ශන දෙකෙකින්) මඬනා ලද ඇතැම් දෙවි මිනිස් කෙනෙක් (ලෝකය ශාශ්වත යයි භවයෙයි) ඇලෙත්. ඇතැම් දෙව්මිනිස් කෙනෙක් (ආත්මයත් ලෝකයත් මරණින් මතු නැතැ යි උච්ඡේද වශයෙන් ගෙණ ධර්මතා) ඉක්මවා දුවත්. නුවණැස් ඇත්තෝ වනාහි (මෙ කී අන්ත දෙකටම නො පැමිණ අවිපරීත වශයෙන් ඇතිසැටියෙන්) දකිත්.
2. මහණෙනි, ඇතැම් දෙවි මිනිස් කෙනෙක් කෙසේ නම් භවයෙහි ඇලෙද්ද?
මහණෙනි, දෙව්මිනිස්සු භවයෙහි ඇලුනාහු, භවයෙහි නිරත වූවාහු, භවයෙහි මැනැවින් සතුටු වූවාහු වෙත් ද, ඔවුන්ට භවනිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි සිත එහි බැස නො ගණී, නො පහදියි, නො පිහිටයි, නිමාවට නො පැමිණෙයි. මහණෙනි, මෙසේ ඇතැම් කෙනෙක් භවයෙහි ඇලෙත්.
3. මහණෙනි, ඇතැම් කෙනෙක් කෙසේ නම් ඉක්මවා දුවත් ද?
ඇතැමෙක් භවයෙන් ම පෙළනු ලබන්නාහු, ලජ්ජිත වන්නාහු, පිළිකුල් කරන්නාහු උච්ඡේදයෙහි සතුටු වෙත් (කෙසේ ද යත්:) ‘පින්වත්නි, යම් හෙයකින් මේ ආත්මය කාබුන් මරණින් මතු සිඳේ ද, නැසේ ද, මරණින් මතු නො වේ ද, ඒ නොවීම ම ශාන්ත ය, එහෙයින් ම ප්රණීතය, එහෙයින් ම අවිපරීතය, (ඇතිසැටිය) කියා යි. මහණෙනි, මෙසේ ඇතැමෙක් ඉක්මවා දුවත්.
4. මහණෙනි, නුවණැස් ඇත්තෝ කෙසේ නම් දකිත් ද?
මේ සසුන්හි මහණ තෙමේ පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධ වශයෙන් දකී ද, පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධ වශයෙන් දැක එහි කළකිරීම, නො ඇලීම, නැති කිරීම පිණිස පිළිපන්නේ වේ ද, මහණෙනි, මෙසේ නුවණැස් ඇත්තෝ (ඇතිසැටියෙන්) දකිත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ:
5. “යම් කෙනෙක් පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධ වශයෙන් (මාර්ගඥානයෙන්) දැක පඤ්චස්කන්ධය ඉක්මවීමෙන් (භාවනාභිසමයයෙන්) භවතෘෂ්ණාව හාත්පසින් සිඳ ලීමෙන් අවිපරීත සත්යය යි කියන ලද නිවණෙහි (ප්රත්යක්ෂයෙන්) අධිමෝක්ෂයට පැමිණෙත් ද,
6. පඤ්චස්කන්ධය පිරිසිඳ දත්තා වූ කුදු මහත් භවයන්හි පහ වූ තෘෂ්ණා ඇති, ඒ මහණ තෙමේ පඤ්චස්කන්ධයාගේ උත්පාද නිරෝධයෙන් යලි ඉපැද්මට නොපැමිණෙයි.
මේ අර්ත්ථය ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
දෙවෙනි වර්ගයයි.
එහි උද්දානය:
ඉන්ද්රිය දෙක, තපනීය දෙක, ශීල දෙක, අනොත්තප්පීය, ජනකුහන දෙක, සංවේජනීය යන සූත්ර දහය ද, විතක්කය-දේශනා දෙක, අවිජ්ජාය, පස්වැනි වූ පඤ්ඤාය, අජාතය, නිබ්බානධාතුය, පටිසල්ලානය, සික්ඛාය, ජාගරිය, ආපායිකය, දිට්ඨිගතය යන සූත්ර සියල්ල දෙවිස්සකැ යි ප්රකාශ කරණ ලදී.
දුකනිපාතය යි.