1. 3. 4.
[අට්ඨිපුඤ්ජ සූත්‍රය]
24. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මවිසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, මහා කල්පයක් තුළ සසර ඇවිදින්නා වූ, ඒ ඒ භවයෙහි හැසිරෙන්නා වූ සත්ත්‍වයකුගේ ඇටගොඩ, අස්ථිපුඤ්ජය, ඇටරැස ඉදින් එක් රැස් කරණ ලද්දේ නො නැසී පවත්නේ නම්, එය මේ වේපුල්ල පර්‍වතය සෙයින් මහත් වන්නේ ය.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2-3. “මගධ රට ගිරිබ්බජ නම් වූ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වට උතුරින් පිහිටි ඒ මේ වේපුල්ල පර්‍වතය (රජගහ නුවර පිරිවරා සිටි කඳු පහ අතුරින්) මහත් යැ යි කියනු ලැබේ. එක් කපක් තුළ රැස් කරණ ලද එක් පුද්ගලයකුගේ ඇට සමූහය ඒ වේපුල්ල පර්‍වතයට සම වේ යැ යි මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලදී.
4-5. “යම් කලෙක පටන් පුද්ගල තෙමේ දුක ය, දුක ඉපදීමට හේතුවය, දුක් නැති කිරීමය, දුක් නැති කිරීමේ මාර්‍ගය යන ආර්‍ය්‍ය සත්‍යයන් සම්‍යක්ප්‍රඥාවෙන් දකී ද, හෙතෙමේ සත් වර හිම් කොට (භවයෙහි) ඔබ මොබ හැසිර සියලු සඤ්ඤෝජනයන් ක්‍ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නේ වෙයි.”
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මවිසින් මෙසේ අසන ලදී.
1. 3. 5.
[සම්පජානමුසාවාද සූත්‍රය]
25. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, වාක්සත්‍ය නම් වූ එක් ධර්‍මයක් ඉක්මි ඒ පුද්ගලයා විසින් නො කළ හැකි කිසි යම් පාපකර්‍මයෙක් නැතැ යි මම කියමි. කවර එක් ධර්‍මයෙක් ද? යත්: මහණෙනි, යම් බඳුවූ මේ දැන දැන බොරු කීමෙක් වේ ද එය යි.
මේ කාරණය බුදුහු වදාළහ. ඒ අර්‍ත්‍ථය ගාථාවශයෙන් මෙසේ කියනු ලැබේ:
2. “එක ම වාක්සත්‍යය ඉක්මි, බොරු කියන සුලු වූ, පරලොව සැපතින් ඉවත් වූ මනුෂ්‍යයා විසින් නො කළ හැකි පවෙක් නැත්තේ ය.”
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. 3. 6.
[දානසංවිභාග සූත්‍රය]
26. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුසස් මම යම් සේ දනිම් ද, එසේ ම සෙස්සෝත් දනිත් නම් නොදී නො වළඳන්නාහු ය. මසුරු මල ඔවුන්ගේ සිත හාත්පසින් අල්ලා ගෙණ නො සිටින්නේ ය. ඔවුන්ගේ යම් අවසන් බත් පිඩෙක් වෙයි නම්, පිළිගන්නෝද වෙත් නම්, ඒ බත් පිඩෙන් ද කොටසක් බෙදා නොදී නො වළඳන්නාහු ය. මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුසස් මා දන්නා සේ සෙසු මිනිස්සු යම් හෙයකින් නො දනිත් ද, එබැවින් බෙදා දී නො වළඳත්. මසුරුමලද ඔවුන්ගේ සිත හාත්පසින් මැඩ ගෙණ සිටියි.
මේ කාරණය බුදුහු වදාළහ. එහි ලා මේ අර්‍ත්‍ථය ගාථාවශයෙන් මෙසේ කියනු ලැබේ:
2-3. “බෙදා වැළඳීමෙහි අනුසස් මහත් ඵල වන පරිදි බුදුහු විසින් යම් ලෙසකින් වදාරණ ලද සැටියෙන් මිනිස්සු දනිත් නම්, මසුරුමල දුර ලන්නාහු ය. යම් තැනකට දෙන ලද්දේ මහත්ඵල වේ ද (එබඳු වු) ආර්‍ය්‍යයනට සුදුසු කාලයෙහි පහන් සිතින් දන් දෙන්නාහු ය.
4. දන් පිළිගැණීමට සුදුසු ආර්‍ය්‍යයනට පරලොව අදහා දන් දී බොහෝ දායකයෝ මේ මිනිසත් බැවින් චුත ව ස්වර්‍ගයට යෙත්.
5. ඒ දායකයෝ ස්වර්‍ගයට ගියාහු එහි සියලු කම්සැපවලින් යුක්ත ව සුතුටු වෙත්. මසුරුමල රහිත වූ ඔහු බෙදා වැළඳීමෙහි ප්‍රතිඵල වළඳත්.“
භාග්‍යවතුන්වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.