තතිය වර්ගය
1. 3. 1.
[පසන්නචිත්ත සූත්රය]
21. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:
1. මහණෙනි, මේ ලෝකයෙහි පැහැදුණු සිත් ඇති ඇතැම් පුද්ගලයකු මෙසේ (මගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දනිමි: “මේ පුද්ගලයා මේ කාලයෙහි කලුරිය කෙරේ නම්, හිසින් ගෙනා බරක් යම්සේ බහා තබනු ලැබේ ද, එසේ ම ස්වර්ගයෙහි උපදියි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඔහුගේ සිත ප්රසන්න ය. එ හෙයින් මහණෙනි, සිත පැහැදීම හේතු කොට ගෙණ මෙසේ සමහර සත්ත්වයෝ කරජකායයාගේ භේදයෙන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයෙහි උපදිත්.”
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙහි ලා මේ අර්ත්ථය (ගාථාවශයෙන්) කියනු ලැබේ:
2. “මේ ලෝකයෙහි ඇතැම් පහන් සිතැති පුඟුලකු දැන බුදුහු භික්ෂුන්ගේ සමීපයෙහි මේ කාරණය වදාළහ:
3. මේ කාලයෙහි මේ පුද්ගල තෙමේ කලුරිය කෙරේ නම්, සුගතියෙහි උපදනේ ය. ඔහුගේ සිත ප්රසන්න ය එහෙයිනි.
4. යම් සේ යමක් ගෙණවුත් බහා තබන්නේ ද, පැහැදුණු සිත් ඇති පුද්ගල තෙමේ ද, එ පරිද්දෙන් ම ස්වර්ගයෙහි උපදනේ වේ. සිත පැහැදීම හේතු කොට ගෙන සත්ත්වයෝ සුගතියට යෙත්.“
මේ කාරණය ද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
1. 3. 2.
[මාපුඤ්ඤභායී සූත්රය]
22. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, පිණට බිය නො වවු. මහණෙනි, මේ පින් යනු යහපත් වූ සිත්කලු වූ ප්රිය වූ මන වඩන්නා වූ සැපයට නමෙකි. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි (මා විසින්) කරන ලද පුණ්යකර්මවල යහපත් වූ සිත්කලු වූ ප්රිය වූ මන වඩන්නා වූ ප්රතිඵල වළඳන ලදැ යි මම හොඳින් දනිමි. සත් වසක් මෙත් සිත වඩා (සංවර්ත විවර්ත) මහාකල්ප සතක් මුළුල්ලෙහි මේ කාම ලෝකයට පෙරළා නො ආයෙමි. මහණෙනි, කල්පය වැනැසෙන කල්හි ආභස්සර නම් බඹලොවට යන්නෙම් වෙමි. කල්පය හට ගන්නා කල්හි හිස්වූ (ප්රථමධ්යාන භූමි සඞ්ඛ්යාත) බ්රහ්ම විමානයෙක උපදිමි. මහණෙනි, මම එහි (බඹ විහරණයෙන් උපන් හෙයින් ) බ්රහ්මයා වෙමි. (බ්රහ්ම පාරිසද්ය බ්රහ්ම පුරෝහිතයනට වඩා ශ්රේෂ්ඨ හෙයින්) මහාබ්රහ්ම වෙමි. කිසිවකු විසින් මැඩ පැවැත්වියැ නො හැකි වෙමි. කිසි යම් ගුණයෙකිනුදු කිසිසේත් මැඩ පැවැත්විය නො හැකි වෙමි. තුන් කල් දත්තෙම් වෙමි. සෙස්සන්ගේ සිත් තමාගේ වශයෙහි පවත්වන්නෙම් වෙමි. මහණෙනි, මම සතිස් වරක් දෙවියනට අධිපති වූ ශක්රයා වීමි. නොයෙක් සියගණන් වාරයන්හි ධාර්මික වූ, ධර්මරාජන් වූ, සතර මහා ද්වීපයට අධිපති වූ, සතුරන් ජය ගන්නා වූ ජනපදයන්හි ස්ථිරභාවයට පත් වූ, සත් රුවනින් යුක්ත වූ සක්විති රජ වීමි. ප්රදේශ රාජ්යලාභය ගැන කියනුම කවරේ ද? මහණෙනි, ඒ මට “මේ මගේ කවර කර්මයෙක ප්රතිඵලයෙක් ද? යම් හෙයකින් මම දැන් මෙසේ මහත් ඍද්ධි ඇත්තෙම් නම්, මහානුභාව ඇත්තෙම් නම්, ඒ කවර කර්මයෙක විපාකයෙක් දැ?”යි මෙ බඳු සිතෙක් විය. මහණෙනි, ඒ මට “යමක් හේතු කොට ගෙණ මම දැන් මෙසේ මහත් ඍද්ධි ඇත්තෙම් ද, මෙසේ මහානුභාව ඇත්තෙම් ද, එය මා විසින් කරන ලද මේ පින්කම් තුනේ ප්රතිඵලය යි. ඒ කවරේද? යත්: දානය, ඉන්ද්රිය දමනය, කායවාක් සංවරය යන තුන යැ” යි මේ සිත විය.
බුදුහු මේ කාරණය වදාළහ. ඒ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමෙක් තමහට වැඩ කැමැති නම්, හෙ තෙමේ මහත් ඵල ඇති, සැප විපාක ගෙණ දෙන ත්රිවිධ පුණ්යක්රියාව ම සම්පූර්ණ කරන්නේ ය. දානය ද (සමචර්ය්යා නම් වූ) ශීලය ද, මෙත් සිත ද වඩන්නේ ය.
3. නුවණැති මනුෂ්ය තෙමේ මේ ත්රිවිධ ධර්මයන් සම්පූර්ණ කොට දුක් රහිත වු බ්රහ්ම ලෝකයට පැමිණෙන්නේ ය.“
භාග්යවතුන් වහන්සේ විසින් මේ අර්ත්ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.