1. 3. 5.
[සම්පජානමුසාවාද සූත්රය]
25. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, වාක්සත්ය නම් වූ එක් ධර්මයක් ඉක්මි ඒ පුද්ගලයා විසින් නො කළ හැකි කිසි යම් පාපකර්මයෙක් නැතැ යි මම කියමි. කවර එක් ධර්මයෙක් ද? යත්: මහණෙනි, යම් බඳුවූ මේ දැන දැන බොරු කීමෙක් වේ ද එය යි.
මේ කාරණය බුදුහු වදාළහ. ඒ අර්ත්ථය ගාථාවශයෙන් මෙසේ කියනු ලැබේ:
2. “එක ම වාක්සත්යය ඉක්මි, බොරු කියන සුලු වූ, පරලොව සැපතින් ඉවත් වූ මනුෂ්යයා විසින් නො කළ හැකි පවෙක් නැත්තේ ය.”
මේ කාරණය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. 3. 6.
[දානසංවිභාග සූත්රය]
26. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුසස් මම යම් සේ දනිම් ද, එසේ ම සෙස්සෝත් දනිත් නම් නොදී නො වළඳන්නාහු ය. මසුරු මල ඔවුන්ගේ සිත හාත්පසින් අල්ලා ගෙණ නො සිටින්නේ ය. ඔවුන්ගේ යම් අවසන් බත් පිඩෙක් වෙයි නම්, පිළිගන්නෝද වෙත් නම්, ඒ බත් පිඩෙන් ද කොටසක් බෙදා නොදී නො වළඳන්නාහු ය. මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුසස් මා දන්නා සේ සෙසු මිනිස්සු යම් හෙයකින් නො දනිත් ද, එබැවින් බෙදා දී නො වළඳත්. මසුරුමලද ඔවුන්ගේ සිත හාත්පසින් මැඩ ගෙණ සිටියි.
මේ කාරණය බුදුහු වදාළහ. එහි ලා මේ අර්ත්ථය ගාථාවශයෙන් මෙසේ කියනු ලැබේ:
2-3. “බෙදා වැළඳීමෙහි අනුසස් මහත් ඵල වන පරිදි බුදුහු විසින් යම් ලෙසකින් වදාරණ ලද සැටියෙන් මිනිස්සු දනිත් නම්, මසුරුමල දුර ලන්නාහු ය. යම් තැනකට දෙන ලද්දේ මහත්ඵල වේ ද (එබඳු වු) ආර්ය්යයනට සුදුසු කාලයෙහි පහන් සිතින් දන් දෙන්නාහු ය.
4. දන් පිළිගැණීමට සුදුසු ආර්ය්යයනට පරලොව අදහා දන් දී බොහෝ දායකයෝ මේ මිනිසත් බැවින් චුත ව ස්වර්ගයට යෙත්.
5. ඒ දායකයෝ ස්වර්ගයට ගියාහු එහි සියලු කම්සැපවලින් යුක්ත ව සුතුටු වෙත්. මසුරුමල රහිත වූ ඔහු බෙදා වැළඳීමෙහි ප්රතිඵල වළඳත්.“
භාග්යවතුන්වහන්සේ විසින් මේ අර්ත්ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. 3. 7.
[මෙත්තා චේතෝවිමුත්ති සූත්රය]
27. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, උපධි සම්පතට (අත්බැව් සපුවට) හිතවූ යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො වටී. ඒ පින් කිරිය වත් මැඩ පවත්වා මෛත්රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්මයන් තවයි, බබලයි. මහණෙනි, තාරකාවන්ගේ යම් ප්රභායෙක් වේ නම් යම් සේ එය සඳපහනින් සොළොස් වන කලාවකුදු නො වටී ද, ඒ තරු එළිය මැඩ පවත්වා සඳ එළිය ම දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම ඔපධික වූ යම් ඒ පින්කිරිය වත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩ පවත්වා මෛත්රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්මයන් තවයි, බබලයි.
2. මහණෙනි, යම් සේ වස්සාන ඍතුවෙහි කෙළවර ඉල් මස සරත් කාලයෙහි හෙළි වූ, විසුරුණු වැහි වලාකුළු ඇති, පහ වූ වලාකුළු ඇති, අහසෙහි සූර්ය්යයා ගමන් කරන්නේ අහසෙහි වූ සියලු අඳුරු මැඩ පවත්වා දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම උපධි සම්පතට කරුණු වූ යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩ පවත්වා මෛත්රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්මයන් තවයි, බබලයි. මහණෙනි, යම් සේ රෑ පැසුලුයම්හි (අලුයම්හි) දහවත් තරුව දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම උපධි සම්පතට කරුණු වු යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩපවත්වා මෛත්රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්මයන් තවයි, මැඩ බබලයි.
මේ කාරණය භගවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය ගාථා වශයෙන් මෙසේ කියනු ලැබේ:
3. “යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් එළඹ සිටි සිහි ඇත්තේ මෛත්රී ධ්යානය අප්රාමාණ්ය වශයෙන් වඩා ද, නිර්වාණය දක්නා වු ඔහුගේ සඤ්ඤෝජනයෝ තුනී වෙත්.
4. ඉදින් එක් ප්රාණියකුකෙරෙහි දූෂිත නො වූ සිතින් යුතු ව මෙත් කෙරේ ද, ඒ හේතු කොට ගෙණ හෙ තෙමේ මහ පින් ඇත්තෙක් වේ. සියලු ප්රාණීන් කෙරෙහි හිතානුකම්පාවෙන් යුත් ආර්ය්ය තෙමේ බොහෝ පින් කරන්නේ ය යනු කියනු ම කිම?
5-6. මිනිසුන්ගෙන් ගැවැසී ගත්තා වූ මහ පොළොව ජය ගත් ඍෂීන් වැනි යම් දැහැමි රජ කෙනෙක් වූ ද (ඔහු) අස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාජපෙය්ය, නිරග්ගළ යන යාගයන් කරමින් හැසුරුණාහු ද, ඒ යාග මනා කොට වඩන ලද මෙත් සිතින් ලැබෙන පිණින් සොළොස් වන කලාවකුදු නො අගී. සියලු තරු සඳපහනින් සොළොස් වන කලාවකුදු අගනාක් මෙනි.