4. 5 සුක්කාපදානය
1214. මෙයින් එක්අනූවන කපෙහි මනහර ඇස් ඇති සර්‍වධර්‍මයන් දන්නා වූ විපස්සී නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.
1215. එකල්හි මම් බන්‍ධුමතී නුවර එක්තරා කුලයෙක්හි උපන්මු, මුනීන්‍ද්‍රයන්ගේ දහම් අසා ශාසනයෙහි පැවිදි වූමු.
1216. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ එසේම ම වැටහෙන නුවණැති බුදුසසුන් පිළිපදනා විචිත්‍ර ධර්‍මකථිකාවක් ද වූමු.
1217. එකල ජනතාවට හිත වූ බොහෝ ධර්‍මකථා කොට මම එයින් සැවැ යශස් ඇති වැ තුසිත දෙව්ලොවැ උපන්මු.
1218. මෙයින් එක්තිස්වන කපැ ගිනිසිළක් මෙන් දිලියෙන යශසින් යුත් දේශකයන් අතුරෙන් උතුම් වූ සිඛී නම් ජිතපඤ්චමාරයන් වහන්සේ ලොවැ උපන්හ.
1219. එකල්හි දු පැවිදි වැ බුදුසසුන්හි නිපුණ වැ බුදුවදන් බබුළුවා එයිනුදු සැවැ දෙව්ලො වැ උපන්මු.
1220. මෙයින් එක්තිස්වන කපැ මහත් ඥාන ඇති වෙස්සභූ නම් නායකයන් වහන්සේ උපන්හ, එකල්හි දු මම් එසෙයින් මැ -
1221. පැවිදි වැ ධර්‍මධර වූවා බුදුසසුන හෙබැවීමි, (ඉනුදු සැවැ) සිත්කලු දෙව්ලොවට ගොස් මහත් සුව වින්දමු.
1222. මේ භද්‍රකල්පයෙහි නරශාර්දූල වූ කකුසන්‍ධ නම් ජිනෝත්තමයන් වහන්සේ උපන්හ. එකල්හිදු මා එසෙයින් මැ -
1223. පැවිදි ව, ආයු පමණින් සිට බුද්ධමතය බබුළුවා එයින් ච්‍යුත වූ මම් සිය භවනයට මෙන් දෙව්ලොවට ගියමු.
1224. මේ කල්පයෙහි මැ ලොවට සරණ වූ සියලු සත්නට උතුම් වූ කෝණාගමන නම් නායකයන් වහන්සේ උපන්හ.
1225. එකල්හි දු ඒ තාදී බුදුරදුන්ගේ සසුන්හි පැවිදි වැ බහුශ්‍රුත ව, ධර්‍මධර ව, බුදුසසුන බැබළවීමි.
1226. මේ කල්පයෙහි මැ කෙලෙස් රණ රහිත වූ මරණාන්තයට (නිවනට) පැමිණි ලෝකනායක වූ කස්සප නම් පුරුෂෝත්තමයන් වහන්සේ උපන්හ.
1227. ඒ නරවීරයන්ගේ ද සසුන්හි පැවිදි වැ පුහුණු කළ සදහම් ඇති ව පරිපෘච්ඡායෙහි විශාරද වූවා -
1228. සුසීල ද ලජ්ජා ඇත්තී ද වී ත්‍රිවිධ ශික්‍ෂායෙහි නිපුණ වී යාවජ්ජීවයෙන් හිත එළවන බොහෝ ධර්‍මකථා කොට -
1229. මනා කොට කළ ඒ කර්‍මයෙන් ද චේතනා පිහිටුවීමෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.