2. 8 ඛේමාපදානය
416. සියලු (ලොවී ලොවුතුරා) දහම්හි චක්‍ෂුර්මත් වූ (භවත්‍රයට ම) නායක වූ පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙයින් සියක් දහසක් වන කප්හි පහළ වූ සේකැ.
417. එකල මම හංසවතී නගරයෙහි දිලියෙන නන් රුවන් ඇති සිටු කුලයෙකැ උපන්නෙම් මහත් සුවයෙන් සමර්පිත ද වූමු.
418. ඒ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් ඇසූමු. එයින් උපන් ප්‍රසාද ඇති මම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ සරණ කොට ගියා වෙමු.
419. මව ද පියා ද ආයාචනා කොට බුදුරජාණන් වහන්සේ පවරා ශ්‍රාවකයන් සහිත වූ උන්වහන්සේ සත් දිනක් වැළඳවූමු.
420. සත් දවස ඉක්මගිය කල්හි මහනුවණැත්තන් අතුරෙහි අග්‍ර වූ මෙහෙණක නරදම් සැරි තථාගතයන් වහන්සේ ඒතදග්‍රස්ථානයෙහි තබාලූ සේකැ.
421. එ අසා ප්‍රමුදිත වැ යළි ඒ මහර්ෂීන් වහන්සේට සත්කාර කොට වැඳ හෙවැ ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු.
422. ඉක්බිති ඒ ජිනේන්‍ද්‍රයන් වහන්සේ “තොපගේ ප්‍රාර්‍ත්‍ථනාව සමෘද්ධ වේවා. සඞ්ඝයා සහිත මට තොප විසින් කරන ලද සත්කාරය අප්‍රමේය විපාක ඇත්තකි.”
423. මෙයින් සියක්දහස් වන කප්හි ඔක්කාක වංසය සම්භව කොට ඇති ගොතින් ගොතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොවැ පහළ වන සේකැ.
424. (තෙපි) ඔබ ධර්‍මයට හිමිවූ ධර්‍මයෙන් නිර්මිත වූ ඒතදග්‍රයට පැමිණි ඛේමා නම් ඖරස ශ්‍රාවිකා වන්නහු.”
425. ඒ කුශල කර්‍ම හේතුයෙන් ද චේතනා ප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොව ට පැමිණියා වෙමි.
426. එයින් සැව යාම දෙව්ලොවට ගියමු, මම් එයින් තුෂිතයට ගියමු, එයින් නිර්‍මාණරතියට ද එයින් පරනිර්මිතවශවර්ති දෙව් ලොවට ද ගියමු.
427. යම් යම් තෙනෙක උපනුමු ද, ඒ (කුශල) කර්‍ම බලයෙන් ඒ ඒ තන්හි රජුනට මෙහෙසිබව කරවූමු.
428. එයින් සැව මිනිසත් බව්හි සක්විති රජුනට ද, පෙදෙසි රජුනට ද මෙහෙසි බව කරවූමු.
429. දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සැම තන්හි සුවපත් වැ නොයෙක් කප්හි හැසුරුණමු.
430. මෙයින් එක් අනූවන කප්හි මනහර නුවන් ඇති සියලු ධර්‍මයන් දක්නා විදර්ශී නම් ලෝකනාථයන් වහන්සේ උපන් සේකැ.
431. මම නරසාරථී වූ ඒ ලෝකනාථයන් වහන්සේ වෙතැ එළැඹැ ප්‍රණීත ධර්‍මය අසා (ඔබ) සසුන්හි පැවිදි වූමු.
432-433. දස දහස් වසරක් ඒ වීරයන් වහන්සේගේ සසුන්හි බඹසර සරා ශමථ - විදර්‍ශනා භාවනානුයෝගී වැ බහුශ්‍රුත වැ (පර්‍ය්‍යාප්ති - ප්‍රතිපත්ති දෙක්හි) නිපුණ වැ චිත්‍ර කථා ඇති වැ ශාස්තෲන් වහන්සේගේ අනුසසුන් කරන්නක් වැ වුසූමු.
434. එ අත් බැවින් සැවැ තුෂිත දෙව්ලොවැ යශස් ඇති වැ උපන්මු. බඹසර බෙලෙන් එහි සෙසු දෙවියන් අභිභවා සිටියා වෙමි.
435-436. යම් යම් තෙනෙකැ මම් (උපත් විසින්) එළැඹියෙම් ද, ඒ (ඒ තෙනැ) මහාභෝග - මහාධන ඇති වූමු, නුවණැති වූමු. රූමත් වූමු, වැළි විනීත පිරිස් ඇති වූමු. ඒ කුශල කර්‍මයෙන් බුදුසසුන්හි බ්‍රහ්මචර්‍ය්‍යයෝග හේතුයෙන් චිත්තප්‍රිය වූ සියලු සම්පත්තීහු මට සුලභ වූහු.
437. (උත්පත්ති වශයෙන්) යම් යම් තෙනකට ගියා වූ ද, මා හට යම් කිසිවෙක් ස්වාමි පුරුෂ වේ ද, හේ මාගේ (පූර්‍ව) ප්‍රතිපත් ඵල හේතුයෙන් මට අවමන් නො කරයි.
438. මේ භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණගෝත්‍රික මහායශස් ඇති කෝණාගමන නම් වූ බුදුරජාණන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
439-440. එකලැ මම බරණැසැ බොහෝ සමෘද්ධිමත් කුලයෙකැ දුහිතෘවක් වූමු. පෙර (අත්බව්හි) දානසහායිකා වූ ධනඤ්ජානී යැ, සුමේධා යැ, මම් යැ යන අපි තිදෙන මහසඟනට අරමක් දුනුම්හ. සඟන උදෙසා වෙහෙරක් ද කරවූම්හ.