2. 7 මහාපජාපතී ගෝතමී අපදානය
226. ලොවට පහනක් වූ වෙනෙය්‍යජන දමනයෙහි සාරථී වූ බුදුරජාණන් වහන්සේ එක්සමයෙකැ විශාලා මහනුවර මහාවනයෙහි මැනවින් කරන ලද කූටාගාර ශාලායෙහි වැඩ වසන සේකැ.
227-228. එකල්හි ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ සුළුමවු වූ මහා පජාපති ගෝතමී තෙරණියෝ එ නගරයෙහි කරන ලද රම්‍ය වූ මෙහෙණවරෙහි කෙලෙසුන්ගෙන් මිදුණු (-රහත්) මෙහෙණන් පන්සියයක් සමග වාසය කළහ. විවේකී වැ හුන් ඔවුනට මෙබඳු මනෝසංකල්පයෙක් පහළ වියැ.
229. “මම බුදුරදුන්ගේ පිරිනිවීම හෝ දෙ අගසව්වන් වහන්දෑගේ පිරිනිවීම හෝ රාහුල - ආනන්‍ද - නන්‍ද තෙරණුවන්ගේ පිරිනිවීම හෝ දක්නට නො ලබමි.
230. ලෝකනාථ වූ මහර්ෂීන් වහන්සේ විසින් අනුදන්නා ලදු වැ කල් ඇති වැ ආයුසංස්කාරයන් හැර පියා නිවීමට යන්නෙම් නම් මැනැවි.”
231. පන්සියයක් මෙහෙණන්හට ද එබඳු ම විතර්‍කයෙක් වියැ, ඛේමාදි තෙරණිවරුනට ද තෙල විතර්‍කයම වූයේ යැ.
232. එකෙණෙහි මහපොළොව කම්පිත වියැ. මේඝගර්‍ජනා ද වූයේ යැ. මෙහෙණවරට අරක්ගත් දේවතාවෝ ශෝකයෙන් පෙළුණාහු, වැලපෙමින් කඳුළු වැගිරවූහු.
233. ඒ (ගෝතමී තෙරණිය හා) මිත්‍ර මෙහෙණෝ ද ගෝතමිය වෙතැ එළැඹැ පා මත සිරසින් වැඳ වැටී මෙවදන් බිණූහු:
234. “ආර්‍ය්‍යාවනි, දිය පොදකින් (සිය සිරුරු) තෙමාගත් අපි එහි රහෝගත (-එකලා) වූම්හ. ඒ අචල වූ පොළොව සැලිණ, මේඝයෝ ගර්‍ජනා කළහ, වැලපීම් ද ඇසෙයි, ගෝතමී උත්තමාවනි, එකැතින් (මේ) කුමක් සඳහා ද?”
235. එවිට ඕ යම් අයුරකින් විතර්‍කකරනලද නම් සියල්ල කීවා යැ. ඒ සියලු මෙහෙණෝ ද (තමන්) විතර්‍කකළ අයුරු (එලෙසින් ම) කීහු.
236. “ආර්‍ය්‍යාවෙනි, පරම ශාන්ත වූ නිවන ඉදින් ඔබට රිසි නම් මනා ව්‍රත ඇති උත්තමාවනි, (අපි) සියල්ලෝ ද බුද්ධානුඥානයෙන් පිරිනිවෙන්නමු.
237. අපි එක් වැ ම ගෙයිනුදු භවයෙනුදු නික්මුණෝ වම්හ. උතුම් නිවන්පුරයට එක්වැ ම යන්නෙමු.”
238. එවිටැ ඕ තොමෝ (ගෝතමී) “නිවනට යන්නන්හට කුමකු කියම් දැ” යි පවසමින් සියල්ලන් සමග මෙහෙණවරින් බැහැර වැ ගියා යැ.